ඉන්දියාව, නේපාලය ස්වභාවික විපතකට මුහුණ දුන් සෑම අවස්ථාවකම “පළමු ප්‍රතිචාර දක්වන්නෙකු” ලෙස කටයුතු කරන බැවින් මෙවර ද නේපාලයට සහාය වීමට කැපවී සිටින බව අගමැති නරේන්ද්‍ර මෝදි පවසනවා.
අගමැති මෝදි මේ බව සඳහන් කර ඇත්තේ අධික වර්ෂාව හේතුවෙන් නේපාලයේ පුළුල් විනාශයක් සහ ජීවිත හානි සිදු ව තිබෙන පසුබිමක.
අගමැති කේ.පී. ෂර්මා ඔලිගේ රජය පෙරලා දැමූ පසුගිය මාසයේ Gen Z විරෝධතාවයෙන් පසු පිහිටුවන ලද අන්තර්කාලීන රජයක් යටතේ පවතින නේපාලයට මෙම ව්‍යසනය තවත් පීඩනයක් එක් කර තිබෙනවා.
“නේපාලයේ අධික වර්ෂාවෙන් සිදු වූ ජීවිත හානි සහ හානි කණගාටුදායකයි. මෙම දුෂ්කර අවස්ථාවේදී අපි ජනතාව සහ නේපාල රජය සමඟ සිටිමු. මිත්‍රශීලී අසල්වැසියෙකු සහ පළමු ප්‍රතිචාර දක්වන්නෙකු ලෙස, අවශ්‍ය විය හැකි ඕනෑම උපකාරයක් ලබා දීමට ඉන්දියාව කැපවී සිටී,” මෝදි පැවසුවා.
අධික වර්ෂාවත් සමග ඇති වූ ස්වභාවික විපත් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 47 දෙනෙකු මිය ගොස් ඇතැයි සැලකෙනවා.





