නහරයක් පුපුරා යෑමෙන් හදිසියේ මරණයට පත්වූ මීගමුවේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකුව සිටි ඩබ්ලිව්. එස්. සලින්ද්‍ර ප්‍රියදර්ශන (58)ගේ මරණය ස්වභාවික මරණයක් යැයි පළමු පශ්චාත් මරණ පරීක්‍ෂණයෙන් අනාවරණය වී තිබියදී පසුව එම මෘත දේහය ගොඩගෙන දෙවන වරට සිදුකළ පශ්චාත් මරණ පරීක්‍ෂණ ප්‍රතිඵල ලැබීමට පෙර මරණකරුගේ බිරිඳ සහ සේවකයා ව්‍යාපාරිකයාගේ ඝාතනයට සම්බන්බන්ධ යැයි පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයට පත්කිරීම නීති විරෝධී යැයි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පවසා තිබෙනවා.
මෙම සිද්ධියේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයා දැනට මාස 8කට පමණ පෙර හදිසියේ මරණයට පත් වෙලා. එහි පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී එය මොළයේ නහර පුපුරා යෑමකින් සිදුවූ ස්වභාවික මරණයක් බවට නිගමනය කර සිරුර මිහිදන් කර ඇති බවයි සඳහන් වන්නේ.
ඊට මාස 8 කට පසු ලද පැමිණිලි අනුව ව්‍යාපාරිකයාගේ සිරුර ගොඩගෙන දෙවන වරට පශ්චාත් මරණ පරීක්‍ෂණයට යවා තිබෙනවා. පසුව එය මනුෂ්‍ය ඝාතනයක් යැයි සැකපිට ඔහුගේ බිරිඳ චන්ද්‍රා පුන්‍යා අතුකෝරළ (52) සහ සේවක මුත්තුසාමි පලනියන්ඩි (50) නමැත්තත් මීගමුව පොලිසියෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයට පත්කර තිබෙනවා.
එහෙත් මේ දක්වා පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව අධිකරණයට ඉදිරිපත් වී නැහැ. මෙහිදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ටිලන්ත වලලියැද්ද මෙම මෘත දේහය මිහිදන් කිරීමෙන් අනතුරුව වෙනස්කම් රැසක් සිදුව ඇති බව අධිකරණය හමුවේ කරුණු දක්වා තිබෙනවා . ඒ අනූව දෙවන පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව කඩිනමින් අධිකරණය හමුවට කැඳවන ලෙසට මීගමුව පොලිසියට නියෝග කර වැඩිදුර විභාගය ජූලි මස 27 වෙනි දිනට නියම කර එතෙක් සැකකරුවන් තවදුරටත් රිමාන්ඞ් භාරයේ රැඳවීමට නියෝග කර ඇති බවත් සඳහන්.