නවසීලන්තයට එරෙහි ව පැවැත්වෙන තුන්වැනි T20 තරගයේ දී පළමු ව පන්දුවට පහර දුන් ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී දැවැන්ත ලකුණු 218ක් ලබා ගත්තා.
නෙල්සන් ක්රීඩාංගණයේ දී එරට වේලාවෙන් අද පෙරවරුවේ ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනූ නායක මිචෙල් සැන්ට්නර් පළමු ව පිතිකරණය සඳහා ශ්රී ලංකාවට ඇරයුම් කළා.
පෙර තරග ද්විත්වයේ දී ම මුල් පෙළ සාර්ථක වුව ද මැද පෙළ දියාරු වූ පසුබිමම ආරම්භක පිතිකරුවන් යුවළ වන පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් පිළිවෙළින් ලකුණු 14කට සහ 22කට දැවී යද්දී කණ්ඩායමේ වගකීම කරට ගත් කුසල් ජනිත් පෙරේරා තරගයට නව ජීවයක් ගෙන දුන්නේ වසර 14කට පසුව ක්රිකට් ඉතිහාසය අලුතින් ලියමින්.
2011 වර්ෂයේ දී ටී.එම් ඩිල්ෂාන් ලබා තිබූ T20 ශතකයෙන් පසුව ශතකයක් ලබා ගන්නට ශ්රී ලංකාව වෙනුවෙන් කුසල් පෙරේරා අද සමත් වූයේ පන්දු 46ක දී ලකුණු 101ක් ලබා ගනිමින්.
ඊට හයේ පහර 04ක් සහ හතරේ පහර 13ක් ඇතුළත්.
එමෙන්ම කුසල්ගේ මෙම ශතකය ලාංකික ක්රීඩකයෙකු ලබාගත් වේගවත්ම T20 ශතකයයි.
මීට අමතර ව නායක අසලංක ද පන්දු 21ක දී ලකුණු 46ක් ලබාගත්තේ හයේ පහර 05ක් සහ එක් හතරේ පහරක් සමගින්.
කඩුලු බිඳ දැමීමේ දී සැන්ට්නර්, ෆෝල්ක්ස්, ඩෆී, මිචෙල් සහ මැට් හෙන්රි එක් ව එක් කඩුල්ල බැගින් බිඳ දැමුවා.
ඒ අනුව අවසන් තරගය ජය ගනිමින් තරගාවලිය තරග 3-0ක් ලෙස සත්කාරකයින්ට ජය ගැනීමට ශ්රී ලංකාවෙන් ලකුණු 219ක ඉලක්කයක් හිමි වුණා.
මේ වනවිට තරගාවලියේ පෙරමුණේ සිටින්නේ නවසීලන්තයයි.
ඒ තරග 2-0ක් ලෙස ජය ගනිමින්.