පවතින වර්ෂාපතනයත් සමඟ කැළණි ගඟ මල්වාන ප්‍රදේශයෙන් මේ වනවිට පිටාර ගලා ඇති බව වාර්තා වනවා.
මේ හේතුවෙන් එම ප්‍රදේශයේ මාර්ග රැසක් ජලයෙන් යට වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
මේ අතර කැලණි ගඟ ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් ප්‍රදේශ කිහිපයක ගං වතුර අවදානමක් ඇති වී ඇති බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව අද (11) දහවල් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබුණා.
එම වර්ෂා තත්ත්වය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් කැළණි ගඟ ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංඟා ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය අනුව මෙතැන් සිට ඉදිරි පැය 48 ක කාලය තුළ දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් කැළණි ගංඟා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවනු ලැබුවා.
මේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙසයි එම ප්‍රදේශවල පදිංචි ජනතාවට දැනුම් දුන්නේ.