හදිසියේ හමා ගිය සුළඟක් හේතුවෙන් කඩා වැටුණු පොල් ගසකට යට වී පුද්ගලයෙක් ඊයේ (22) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හලාවත, මුගුණුවටවන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 56ක දෙදරු පියෙක් බවයි වාර්තා වුණේ.
යාබද වත්තක තිබූ පොල් ගසක කොටසක් අදාළ පුද්ගලයා මතට මෙලෙස කඩා වැටී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
අනතුර සිදුවූ අවස්ථාවේදීම ඔහුව වහාම හලාවත මහ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති අතර ඒ වනවිටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බවයි වාර්තා වන්නේ.
ජෙරී රොෂාන් පුෂ්පකුමාර නැමැති මෙම පුද්ගලයා ඉතාලියේ රැකියාවක් කර මෑතක දී මෙරටට පැමිණ ඇති අතර, ඔහුගේ බිරිද සහ දරුවන් මේ වන විටත් ඉතාලියේ ජීවත්වන බව සඳහන්.
පශ්චාත් මරණ පරීක්ෂණය හලාවත මහ රෝහලේ දී පැවැත්වීමට නියමිතව තිබුණා.