කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ, ගමන් මළු පථය අසළ මිලිමීටර් 09 වර්ගයේ ජීව උණ්ඩයකට සමාන උණ්ඩයක් වැටී තිබියදී ශ්‍රී ලන්කන් භූමි සහායක සේවිකාවක විසින් සොයාගනු ලැබ තිබෙනවා.
අදාළ ජීව උණ්ඩය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගුවන් තොටුපොළ පොලිසිය වෙත අද (10) අලුයම භාර කෙරුණා.
අද අලුයම 03.15 ට පමණ මෙම උණ්ඩය ශ්‍රී ලන්කන් භූමි සහායක සේවිකාවක විසින් සොයා ගෙන තිබූ අතර, පසුව ඇය එම උණ්ඩය ශ්‍රී ලන්කන් ආරක්ෂක නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.
මෙම උණ්ඩය සොයා ගත් ශ්‍රී ලන්කන් භූමි සහායක සේවිකාවකගෙන් ද පොලිසිය විසින් ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබෙන බවත් වාර්තා වනවා.
අදාළ උණ්ඩය මේ වනවිට වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය පියවර ගෙන ඇති බවයි පැවසෙන්නේ.
මේ පිළිබඳ කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.