ඊශ්‍රායලය අද (13) අලුයම් කාලයේ දී ඉරානයට එල්ල කළ දැවැන්ත ප්‍රහාර මාලාවක් හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අද දිනයේ එහි මිල 9%ක අගයකින් ඉහළ ගොස් ඇති බවයි.
එය පසුගිය මාස 5 තුළ වාර්තා වූ ඉහළම අගය බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 6.29කින් ඉහළ ගොස් ඇති අතර එහි නවතම මිල අමෙරිකානු ඩොලර් 75.65ක අගයක් ගෙන තිබෙනවා.
පසුගිය ජනවාරි 27 වනදා බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 78.50ක අගයක්.
මෙම කලාපයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ ගෝලීය වෙළෙඳාමට ද දැඩි බලපෑමක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
මේ අතර ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරාන න්‍යෂ්ටික විද්‍යාඥයින් 6 දෙනෙකු මිය ගිය බව රාජ්‍ය මාධ්‍ය වාර්තා කරනවා.
ඉරානයේ ටෙහෙරාන් අගනුවර ජනතාව ඝෝෂාකාරී පිපිරීම් හඬකින් අවදි වූයේ ‘ඔපරේෂන් රයිසින් ලයන්’ යටතේ ඉරානයේ න්‍යෂ්ටික සහ හමුදා ස්ථාන ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කරන විටදීයි.
මෙම ප්‍රහාරය සිදුවන්නේ ඊශ්‍රායලය සහ ඉරානය අතර ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් ඇති වන ආතතීන් මධ්‍යයේ ය.
ප්‍රහාරවලින් පසුව, ඊශ්‍රායලය ඉරානයෙන් පළිගැනීමක් අපේක්ෂා කරන අතර හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරන බව රොයිටර් පුවත් සේවය වාර්තා කළා.














