ඉන්දියාවේ සිට ධිවර යාත්‍රාවක ආධාරයෙන් පැමිණ පුත්තලම වෙප්පමඩුව ප්‍රදේශයේ නිවසක සැගවි සිටි ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඉන්දියානු කාන්තාවක හා දරුවන් දෙදෙනකු සැගවි සිටි නිවසේම නිරෝධායනය කළ බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි.
මෙසේ නිරෝධායනයට ලක් කර කර ඇත්තේ ඉන්දියාවේ චෙන්නායි කුප්පම් පදිංචි 34 හැවිරිදි කාන්තාවක් හා ඇගේ වසය අවුරුදු 13 හා 4 ක් වු දරුවෝ දෙදෙනෙකි.
මෙම පිරිසට රැකවරණය දුන් හා එම කාන්තාව ත්‍රිරෝද රථයකින් රැගෙන ගිය හා තොරතුරු වසං කළ පවුල් 5 ක සාමාජීකයින් 26 දෙනකු ද ස්වයං නිරෝධායනයට ලක් කළ බව පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එන්.සුරේෂ් මහතා පවසයි.
එම කාන්තාව හා ඇගේ දරු දෙදෙනා අද දින PCR පරීක්ෂණ සඳහා යොමු කෙරුනේ පුත්තලම මුලික රෝහල වෙතය.
මේ අතර අදාළ කාන්තාව හා දරු දෙදෙනා සමඟ ඉන්දියාවේ සිට පැමිණි අනෙක් කාන්තාව මිගමුව කොච්චිකඩේ ප්‍රදේශයෙන් සොයා ගෙන නිරෝධායනයට යොමු කර ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
ඔවුන්ගෙන් මාධ්‍යවේදීන් මෙසේ විමසා සිටියේය.
මාධ්‍යවේදියා : කොහෙන්ද බැස්සේ?
ඉන්දියාවේ සිට පැමිණි කාන්තාව : තලෙයිමන්නාරමෙන්. බස් එකෙන් ආවා. පස්සේ මේවා වුණා. අතන ඉඳලා වව්නියාවේ ගිහිල්ලා වව්නියාවේ ඉඳලා පුත්තලමේ ආවා.
මාධ්‍යවේදියා : ඇත්තටම ආවේ කොරෝනා එකට බයෙන්ද?
ඉන්දියාවේ සිට පැමිණි කාන්තාව : ඇත්තටම මහත්තයා කොරෝනා එකට බයවෙලා තමයි.
ඉන්දියාවේ සිට පැමිණි අනෙක් කාන්තාවගෙන්ද සෞඛ්‍ය අංශ නිලධාරීන් මෙසේ ප්‍රශ්න කළේය.
සෞඛ්‍ය අංශ නිලධාරීන් : ඔයා ඉන්දියාවේ හිටපු පැත්තේ තිබුණද කොරෝනා තදට?
ඉන්දියාවේ සිට පැමිණි කාන්තාව : නැහැ නැහැ අපි ඉඳපු තැන කොරෝනා මුකුත් තිබුණේ නැහැ. අපි එතනත් ඇතුලේමයි හිටියේ එලියට ආවේ නැහැ.
සෞඛ්‍ය අංශ නිලධාරීන් : ඇතුළේ කියන්නේ?
ඉන්දියාවේ සිට පැමිණි කාන්තාව : ගේ අස්සේ තමයි හිටියේ.
සෞඛ්‍ය අංශ නිලධාරීන් : ඒ බෝට්ටුවේ පැමිණි කීදෙනෙක් ආවද ඔයත් එක්ක?
ඉන්දියාවේ සිට පැමිණි කාන්තාව : තුන්දෙනෙක් ආවා ඔහොම්ම අපිව දාලා එහෙන්ම ගියා.
සෞඛ්‍ය අංශ නිලධාරීන් : ආපහු ගියා.
ඉන්දියාවේ සිට පැමිණි කාන්තාව : ආපහු ගියා.
සෞඛ්‍ය අංශ නිලධාරීන් : ඔයත් එක්ක ආපු අනිත් කට්ටිය කාටවත් අසනීප තියෙනවද?
ඉන්දියාවේ සිට පැමිණි කාන්තාව : නෑ නෑ
සෞඛ්‍ය අංශ නිලධාරීන් : කොහේවත් යන්නේ නැතුව ඉන්න pcr එක කරනකම්. ප්‍රතිඵල බලා ගන්න ඕනේ. එතකම් ගෙදරට වෙලා ඉන්න.
ඉන්දියාවේ සිට පැමිණි කාන්තාව : හරි සර්.
ඔවුන්ගෙන් මාධ්‍යවේදීන් මෙසේ විමසා සිටියේය.
ඉන්දියාවේ සිට පැමිණි කාන්තාව : නිකම් යනකොට හම්බ වුණා එක්කෙනක්. එයා ගාව තමයි තුත්තුකුඩියේ ඉඳලා තමයි ආවේ බෝට්ටුවෙන්.
මාධ්‍යවේදියා : එතකොට සල්ලි දීලද ආවේ?
ඉන්දියාවේ සිට පැමිණි කාන්තාව : සල්ලි 30ක් දීලා ආවේ.
මාධ්‍යවේදියා : එතකොට පාස්පෝර්ට් නැතුව එක්කන් ඇවිල්ලා කොහෙන්ද බැස්සුවේ?
ඉන්දියාවේ සිට පැමිණි කාන්තාව : මෙතන මන්නාරමේ. මට යන්න ඕනේ මෙතන හිටියොත් මම මැරෙනවා එක්කන් යන්න කිව්වා.
මාධ්‍යවේදියා : එතකොට අපේ ලංකාවේ අයද එක්කන් ආවේ ඉන්දියාවේ අයද?
ඉන්දියාවේ සිට පැමිණි කාන්තාව : ඉන්දියා අය
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභපති උපුල් රෝහණ මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ සඳහන් කළේය.
“අපි ඉතාමත් අවධානමක තියෙන රටක්. අපේ මුහුදු තිරයේ විශාල වශයෙන් ඉන්දීය පුරවැසියන් අනවසරයෙන් ඇතුල් වෙනවා. ඒ නිසා මේ මොහොතේ මේ කටයුත්තේ නිරත වන ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිසිය කියන අංශ දෙකෙන්ම ඉල්ලා සිටිනවා ඉන්දියානු පුරවැසියන් ලංකාවට ඇතුළු වීම සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරන්න කියලා. එහෙම ඇතුළු වෙලා තවත් ප්‍රභේදයක් රට තුලට ඇතුළු වුණොත් මින් එහාට ගිය අර්බුධයකට මුහුණ දෙනවා.”
ධිවර වරාය සංවර්ධන, බහුදින ධිවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්විය.
“යම් යම් තොරතුරු ලැබෙමින් පවතිනවා. ධිවර යාත්‍රා හරහා ඉන්දියාවේ සිටින පිරිස් ලංකාවට ඇතුළු වීමට උත්සාහයන් දරන බවට. ඒ නිසා අපි උපදෙස් ලබා දීලා තියෙනවා විශේෂයෙන්ම ධිවර දෙපාර්තමේන්තුව සහ ධිවර වරාය නීතිගත සංස්ථාවට. ඒ වගේම නාවික හමුදාවට. ඒ ධිවර යාත්‍රා වල පැමිණෙන පිරිස් පිළිබඳව මිට වඩා අවධානමෙන් කටයුතු කරන්න කියලා.”
සබැඳි පුවත් : ඉන්දියාවේ සිට ලංකාවට පැන ආ පිරිසට PCR කරලා




