අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයතා ලෙස වත්කම් උපයාගත් බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුව ලබන 28 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (11) නියම කළා.
මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී ඇප මත මුදා හැර සිටින විත්තිකාර මර්වින් සිල්වා හිටපු අමාත්‍යවරයා අධිකරණයේ පෙනී සිටියා.
කෙසේ වෙතත් අදාළ නඩුව විභාග කරන විනිසුරුවරයා අද දිනයේ නිවාඩු ලබා සිටීම හේතුවෙන් එම නඩුව යළි ලබන 28 වනදා යළි කැඳවන ලෙස අධිකරණය නියම කර සිටියා.
2010 වසරේ මාර්තු මස 31 වනදා සහ 2012 වසරේ මාර්තු මස 31 වනදා අතර කාලසීමාව තුළ විත්තිකාර හිටපු අමාත්‍යවරයා මෙම වරද සිදුකර ඇති බව අල්ලස් කොමිසම විසින් මර්වින් සිල්වාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අධිචෝදනාවල සඳහන්.
ඒ අනුව කඩවත ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීම සඳහා එක්කෝටි 39 ලක්ෂ අනූනව දාහක මුදලක් වැය කර ඇති අතර කොළඹ 07 අර්නස්ට් ද සිල්වා මාවතේ ඉඩමක් මිලදී ගැනීම සඳහා හත් කෝටි දහතුන් ලක්ෂ අනූ නව දහසක මුදලක් හිටපු අමාත්‍යවරයා විසින් වැයකර තිබෙන බවත් අල්ලස් කොමිසම ඉදිරිපත් කළ චෝදනාවල සඳහන් වනවා.
ඊට අමතරව සිය පුත් මාලක සිල්වා වෙනුවෙන් මර්සිඩීස් බෙන්ස් රථයක් මිලදී ගැනීම සඳහා තුන්කෝටි 23 ලක්ෂ 75,000ක මුදලක් වැය කර ඇති බවත්, හයි හුන්ඩායි මෝටර් රථයක් මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ 55කට අධික මුදලක් සහ ඩිෆෙන්ඩර් රථයක් මිලදී ගැනීම සඳහා අසූ අට ලක්ෂ පනස්දහසක මුදලක් වැය කිරීම ඇතුළු සිය නීත්‍යානුකූල ආදායම අභිබවා දේපළ අත්පත් කර ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබෙනවා.




