ලොව විශාලතම කායවර්ධන සහ සවි එසවීමේ තරගාවලිය වන ඇමෙරිකාවේ පැවති 38 වන “ආර්නෝල්ඩ් ක්ලැසික් ස්පෝට්ස් ” ( Arnold Classic Sports ) තරගාවලියට ආසියානූ මහාද්වීපය නියෝජනය කරමින් සහභාගී වූ , ශ්‍රී ලංකාවේ රන්සිළු ජයතිලක , එහිදී රන් පදක්කම් දෙකක් සහ ” ප්‍රෝ ” ඉසවේ බද පටිය ද දිනා ගෙන අද (18) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.
මෙම තරගාවලිය සුදුසුකම් සපුරා ඇති ලෝකයේ රටවල් 10 ක ක්‍රීඩකයින් පමණක් සහභාගී වූ අතර , එය ඉකුත් 06 වැනිදා සිට 10 වැනිදා දක්වා ඇමෙරිකාවේ ඔහියෝ නුවර පවත්වා තිබුණා.
මෙම තරගාවලියට සමස්ථ ආසියානූ මහාද්වීපය නියෝජනය කරමින් සහභාගී වීම සදහා ශ්‍රී ලංකාවේ රන්සිළු ජයතිලක සුදුසුකම් ලබා ගත්තා.
එහිදී ” ඩෙඩ් ලිෆ්ට් ” ඉසව්වෙන් තරග කළ රන්සිළු , කිලෝ ග්‍රෑම් 320 ක් ඔසවමින් ඇමෙරිකානු ක්‍රීඩකයා පරාජයට පත් කරමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වුණා.
එසේම මෙම තරගාවලියේ පැවති ” සවි එසවීමේ ” ( Power Lifting ) ඉසව්වෙන් කිලෝ ග්‍රෑම් 720 ක් ඔසවමින් මැක්සිකානු ක්‍රීඩකයා පරාජයට පත් කරමින් රන් පදක්කම දිනා ගැනීමට රන්සිළු සමත් වී තිබුණා.
එම ජයග්‍රහණයන් දෙකත් සමග රන්සිළු ජයතිලක වෙත ” ප්‍රෝ ” බද පටිය දිනා ගැනීමට අවස්ථාව හිමි වුණා .
මෙවන් උසස් ජයග්‍රහණයන් ශ්‍රී ලාංකික සවිඑසවීමේ ක්‍රීඩකයෙකු හිමි කර ගත් පළමු අවස්ථාව මෙය වනවා.
මෙම තරගාවලිය නැරඹීම සදහා ලක්ෂ දෙකකට වැඩි නරඹන්නන් පිරිසක් පැමිණ සහභාගී වී සිටියහ .



