AFC Banner
Empty Ad
Empty Ad

අහක යන කතන්දර මම ඇඟේ ගා ගන්න කොහොමත් කැමැති නැහැ – දිල්හානි කියයි

රිදි තීරයේ එක් කාල පරිච්ඡේදයක් ලියැවූණේ ඇයගේ නමට යි. නර්තන කෞශල්‍යය හා මලක් මෙන් සුපිපෙන ඇයගේ සිනහව නිසා ම ලංකාවේ “ශ්‍රී දේවි” ලෙසින් ද ඇයට නම් පටබැඳිණි. මෑතකදී ඇය කතාබහට ලක්වුණේ, ‘ජංගි හොරා’ චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව නිරූපණය කිරීමෙන් අනතුරුව යි. අද හදගැස්ම වෙන්වන්නේ දිල්හානි ඒකනායකට යි.

කොහොම ද මේ දවස්වල ජීවිතේ?

ජීවිතේ ඉතා හොඳ යි.

ජංගි හොරා චිත්‍රපටය තිරගත වීම ත් සමග ආන්දෝලනාත්මක ප්‍රතිචාර ලැබෙන බව ආරංචියි?

ඔව්. විවිධ වර්ගයේ ප්‍රතිචාර ලැබෙනවා. කිසි ම කෙනෙක් මූණට කිසි ම ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. හැබැයි බොහෝ දෙනෙකු ඒ පිළිබඳව ලියා තිබෙනවා මම දුටුවා. මගේ කාර්ය මම නිම කළා. ප්‍රේක්‍ෂකයන්ට තමන්ට සිතෙන දේ ප්‍රකාශ කළ හැකි යි. අහක යන කතන්දර මම ඇඟේ ගා ගන්න කොහොමත් කැමැති නැහැ. ඒවගේ ම ඒවට කලබල වෙන්නෙ ත් නැහැ.

එම චිත්‍රපටයේ වැඩිහිටියන්ට පමණයි දර්ශන අවස්ථා කිහිපයක් ඔබට නිරූපණය කිරීමට සිදුවෙනවා. එය අභියෝගයක් වුණේ නැද්ද?

මම වැඩිහිටියෙක් නිසා ඒ දර්ශන අවස්ථා මට අභියෝගයක් වුණේ නැහැ.

මීට පෙර ත් ඔබ එවැනි දර්ශනවලට පෙනී ඉඳලා තිබෙනවා නේ ද?

ඔව්. කිහිපවරක් ම මම එවැනි දර්ශනවලට පෙනී ඉඳලා තියෙනවා. ඒ සෑම දර්ශනයක් ම මම රඟපෑවේ වැඩිහිටි වියට එළැඹීමෙන් පසුව යි. ඒ නිසා මට එය ගැටලුවක් වුණේ නැහැ.

ලැබෙන චෝදනා නිසා ඒ චරිතය නිරූපණය කිරීම පිළිබඳව පසුතැවීමක් තියෙනව ද?

කිසි සේ ත් පසුතැවීමක් නැහැ.

ජංගි හොරා චිත්‍රපටයේ ඔබ රංගනයේ යෙදෙන්නේ අලුත් පරම්පරාවේ රංගන ශිල්පියෙකු සමග යි. ඒ සුසංයෝගය පිළිබඳ ඔබගේ හැඟීම් කෙබඳු ද?

මම පසු පරම්පරාව සමග කිහිප විටක් වැඩ කටයුතු කළා. රංගනයේ පරිණතභාවය ලැබෙන්නේ ක්‍ෂේත්‍රයේ රැඳී සිටින කාලය හා දායක වන නිර්මාණවලින් ලත් අත්දැකීම මත යි. ක්‍ෂේත්‍ර කාලය ත් සමග රංගන කටයුතු ගුණාත්මක තත්ත්වයට පත්වෙනවා. ඔවුන් තරුණ යි වගේ ම අපේ පරම්පරාවේ නොවෙයි කියා බෙදීමක් නැහැ. ඔවුන් සමග සතුටින් වගේ ම සහයෝගයෙන් මම වැඩ කටයුතු කළා.

ලංකාවේ “ශ්‍රී දේවි” යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ අතීතයට පියමන් කළොත්?

මම ක්‍ෂේත්‍රයට පැමිණි මුල් කාලයේදී මට ශ්‍රී දේවි ලෙස විරුධාවලි ලැබුණ ත් මම මගේ ගෘහය තුළ මගේ ම අනන්‍යතාවක් ගොඩ නඟාගෙන හමාර යි. ඒ නිසා කාගේවත් නමක් මට අවශ්‍ය නැහැ. ක්‍ෂේත්‍රයට පැමිණි මුල් කාලයේ නර්තනයට දක්‍ෂ නිසා එසේ හැඳින්වුව ත් වර්තමානයේ මගේ ගමන් මග දෙස හැරී බලන විට එකී සමාන නිර්ණායකයන් මම බිඳ හෙළා අවසාන යි. තරුණ වියේදී තරුවකට සම කරන විට එයින් ලොකු වින්දනයක් සහ ලොකු උත්තේජනයක් ලැබුවා. අද ඒ ගැන කල්පනා කරන විට සිතට සතුටු යි.

ඔබගේ සමකාලීන රංගන ශිල්පීනියන් හා සසඳන විට නර්තනය තුළින් ඔබව වඩාත් කැපී පෙනෙනවා නේ ද?

ඔව්. එයට හේතුව මම අවුරුදු නමයේ පටන් ම නර්තනය හැදෑරීම යි. මම සැලසුම් කළේ නර්තන ශිල්පිනියක් වීමට යි. නමුත් අහඹු ලෙස මට රංගන කාර්යයට පිවිසීමට අවස්ථාව ලැබුණා. ඒ නිසා සාපේක්‍ෂව මම සමකාලීන රංගන ශිලිපිනියන් අතර කැපී පෙනෙනවා ඇති.

රිදී තිරය තුළ සදාතනික තරු වර්තමානයේ බිහි නොවන්නේ ඇයි?

අතීතයට සාපේක්ෂව වර්තමානයේ චිත්‍රපට නිර්මාණය වන්නේ ඉතාමත් අඩුවෙන්. ඒ වගේ ම සිනමා ශාලා පිරී ඉතිරෙන්නෙ ත් නැති තරම්. අද ප්‍රබල ම මාධ්‍ය බවට පත්වී තිබෙන්නේ ටෙලිවිෂනය යි. එකී මාධ්‍ය තුළ ත් වෙන් වෙන්ව හඳුනාගත නොහැකි තරම් රංගන ශිල්පීන් හා රංගන ශිල්පිනියන් බොහෝමයක් සිටිනවා. ඔවුන් තුළ මම ඒකාකාරී ස්වභාවයක් දකිනවා. ඒ නිසා ම සංඛ්‍යාත්මකව කැපී පෙනෙන රංගන ශිල්පීන්ව දකින්නේ ඉතාමත් අඩුවෙන්.

ඔබ ව්‍යංග්‍යයෙන් කියන්නේ නවකයන් තුළ තමන්ට ආවේණික වූ අන්‍යතාවක් නොමැති බව ද?

මම සිතන්නේ අපට ලැබුණු අවස්ථාවන් ඔවුන්ට නොලැබෙන නිසා ඔවුන්ට අන්‍යතාවක් ගොඩ නගා ගැනීමට අපහසු යි කියල යි. රූපවාහිනියේ ඒකාකාරී දීර්ඝ ටෙලිනාට්‍යවලින් රංගන ප්‍රතිභාවක් ගොඩ නගා ගන්න බැහැ. ඔවුන් ජනප්‍රිය තලයේ සිටිය ත් හොඳ නළුවෙක් විදිහට හා හොඳ නිළියක් විදිහට ගොඩ නැගෙන්න ලැබෙන අවස්ථාවන් අඩු යි. ජනප්‍රිය ධාරාවේ ටෙලිනාට්‍ය රැල්ලේ ප්‍රතිරූප ගොඩ නගා ගන්න අපහසු යි. උදාහරණයක් ලෙස ස්වර්ණා මල්ලවආරච්චි අක්කා ගත්තොත් ගලේ කෙටුවා හා සමානව අපට සිටින්නේ එපමණ යි. රංගන ක්‍ෂේත්‍රයට අවශ්‍ය වන්නේ බාහිර පෙනුමට එහා ගිය දක්ෂතාවන් පිරිපුන් එවන් පුද්ගලයන් කියා මම විශ්වාස කරනවා.

වාචික අභිනයෙන් තොරව සිදුකළ “මේ මගේ සඳයි” චිත්‍රපටය ඔබගේ රංගන ප්‍රතිභාවේ වෙනස් ම පැතිකඩක් පෙන්නුම් කිරීමක් නේ ද?

ඔව්. එකී චරිතයේ ගැඹුරු ස්වභාවය මට තේරෙන්නෙ පසුකාලීනව යි. ඒ චරිතයේ ඇයගේ හඬ ඇසෙන්නේ අවස්ථා දෙකකදී පමණයි. එකී දෙබස් කිහිපයක් ද්‍රවිඩ භාෂාවෙන් කීමට සිදුවීම ත් ලොකු අභියෝගයක්. එම චරිතයේ අසීරු ස්වභාවය නොදැනෙන්නේ එම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාගේ දක්‍ෂතාව හා සහෝදර රංගන ශිල්පීන්ගේ හැකියාව එය ත් සමග ඒකාබද්ධ වන නිස යි.

කලා ක්‍ෂේත්‍රයේ ඇසූ පිරූ තැන් ඇති කුලකයේ ප්‍රමාණාත්මක අඩුවීම ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පීන් බිහි නොවීමට සෘජු ලෙස බලපෑම් කරනවා නේ ද?

සෑම ක්‍ෂේත්‍රයක ම ක්‍රමවේදවල බාල ස්වභාවයක් වර්තමානය තුළ දැක ගන්න පුළුවන්. අතීතයේ චරිතයක් වෙනුවෙන් කළ කැපකිරීම් වර්තමාන පරම්පරාව තුළින් දැක ගන්න අමාරු යි. ඔවුන් එකට දින කිහිපයක් තුළ නිර්මාණ බොහොමයක් කිරීමට උත්සහ කරන නිසා එක් නිර්මාණයකට ලොකු අවධානයක් දීමට අපහසු වෙනවා. මම දර්ශන තලයකට ගියා ම ෆෝන් එකවත් පාවිච්චි කරන්නේ නැහැ. දර්ශන තලයකට ෆෝන් එකක් රැගෙන යාම මම කිසි විටක ත් අනුමත කරන්නේ නැහැ. රඟපෑමේදී අවධානය ඉතාමත් වැදගත්. මම එය අකුරට ම පිළිපදින කෙනෙක්.

තුරුණු වියේදී ඔබ වැඩි වශයෙන් රංගනයෙන් දායක වුණේ වාණිජ චිත්‍රපටවලට. ඒ නිසා රංගනයේ උපරිමය ඉස්මතු කිරීමට ඔබට නොහැකි වුණා ද?

මගේ රංගන ජීවිතයේ ඉනිමග බවට පත්වුණේ වාණිජ සිනමාව යි. ඒ වගේ ම මම ක්‍ෂේත්‍රයට පා තබන්නෙ ත් එකී සිනමාවෙනු යි. මගේ වයස ත් එක්ක දැන් මට වාණිජ චිත්‍රපටවල රඟපෑමට අවකාශ හිමිවෙන්නේ නැහැ. සින්දු කියලා, නටන දඟකාර පෙම්වතියගේ භූමිකාව දැන් මට නිරූපණය කිරීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. මම තව ත් වියපත් වුණ ත් යථාර්ථවාදී චරිත නිරීපණය කළ හැකි යි. ඒ නිසා තුරුණු වියේදී වාණිජ චිත්‍රපටවලට වැඩි වශයෙන් දායක වීම මගේ පැත්තෙන් අවාසිසහගත තත්ත්වයක් නොවෙයි.

අධ්‍යක්ෂණයට, නිෂ්පාදනයට යොමුවීමට බලාපොරොත්තුවක් තිබෙනව ද?

අපෝ නැහැ. එකී ක්‍ෂේත්‍රයන් දෙකට ම පැමිණෙන්නට බලාපොරොත්තුවක් නැහැ.

අනාගත බලාපොරොත්තු මොනවා ද?

වර්තමානයට මුහුණ දීම යි එක ම අනාගත බලාපොරොත්තුව.

(උපුටා ගැනීම : මව්බිම පුවත්පත)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?