මෙම වසරේ අක්කර 36,000ක් අලුතින් පොල් වගාව සිදුකිරීමට සැලසුම් කර ඇති බවත් ඉන් 16,000ක් උතුරු පොල් ත්‍රිකෝණයටත්, ඉතිරි අක්කර 20,000 අනෙකුත් ප්‍රදේශවලටත් අයත් වන බවත් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසනවා.
අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ඔහුගේ සභාපතීත්වයෙන් පෙරේදා (05) පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේදීයි.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
පොල් වගාව වැඩිදියුණු කිරීමේ අරමුණින් බීජ පොල් මිලියන 2.5ක් මෙම වර්ෂය සඳහා නිෂ්පාදනය කරන බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.
එමෙන්ම දැනට රුසියාවෙන් නොමිලේ ලැබුණු එම්.ඕ.පී පොහොර මෙට්‍රික් ටොන් 55,000න්, මෙට්‍රික් ටොන් 27,500ක් යොදා ගනිමින් පොල් වගාව සඳහා මිශ්‍රිත පොහොර මෙට්‍රික් ටොන් 56,000ක් සකස් කිරීම සිදුකරමින් පවතින බවත්, එමගින් අක්කර 05ට අඩු පොල්වතු හිමියන්ට පොහොර සහනාධාරයක් ලබාදෙන බවත් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පැවසුවා.
ඒ අනුව එම මිශ්‍රිත පොහොර, වෙළඳපොළ මිල ආසන්න වශයෙන් රුපියල් 9,500ක් වන කිලෝග්‍රෑම් 50 පොහොර මිටිය රුපියල් 4,000ක සහන මිලකට මේ මාසය අග වන විට රටපුරා සිටින පොල් වගාකරුවන්ට ලබාදීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.