කැමරූන් රාජ්‍යයේ ළමුන්ගේ මරණවලට සම්බන්ධ ඉන්දියාවේ රීමන් ලැබ්ස් හි නිෂ්පාදිත කැස්ස සිරප් නිෂ්පාදනවල රසායනාගාර නියමයන් උල්ලංඝන වීම පිළිබඳ ඉන්දියාව විසින් සොයාගෙන ඇති බව එරට රජයේ සෞඛ්‍ය නිලධාරියෙක් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනවා.
රොයිටර් පුවත් සේවයට වාර්තා කළේ ඉන්දියාවේ නිෂ්පාදිත ඇතැම් කැස්ස සිරප් විදේශයන්හි ළමුන් විශාල පිරිසකගේ මරණවලට හේතුව බවට හෙළිවීමත් සමඟ බලධාරීන් ඖෂධ නිෂ්පාදකයින් පිළිබඳ විමර්ශන වේගවත් කර ඇති බවයි.
කෙසේවෙතත් රීමන් ලැබ්ස් රොයිටර් ආයතනය කළ විමසීම්වලට ප්‍රතිචාර දක්වා නැහැ.
විමර්ශන නිලධාරීන් අඩුපාඩු සොයා ගැනීමෙන් පසු නිෂ්පාදනය නතර කළ සිව්වන ඉන්දියානු කැස්ස සිරප් නිෂ්පාදකයා රීමන් ලැබ්ස් ආයතනයයි.
රීමන් ලැබ්ස් හි අධ්යක්ෂවරුන් තිදෙනාගෙන් එක් අයෙකු වන රාජේෂ් භාටියා රොයිටර් පුවත් සේවයට පවසා ඇත්තේ තමන් මේ පිළිබඳව දැනුවත්ව නොසිටි බවයි.
විමර්ශකයින් මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ පිහිටි සමාගමේ නිෂ්පාදන ඒකකය පරීක්ෂා කර අඩුපාඩු සොයා ගැනීමෙන් පසු දැන්වීමක් නිකුත් කළ බව ප්‍රාන්තයේ ඖෂධ පාලක සුදම් ඛාඩේ ප්‍රකාශ කර තිබෙනවා.
සමාගමේ හොඳ නිෂ්පාදන අතර භාවිතයට නුසුදුසු නිෂ්පාදන ද සොයාගෙන ඇති බවයි ඔහු සඳහන් කර ඇත්තේ.
සමාගමේ සියලුම නිෂ්පාදනවල සාම්පල පරීක්ෂණ සඳහා යවා ඇති අතර එහි ප්‍රතිඵල මත ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බව සුදම් ඛාඩේ ප්‍රකාශ කළා.
ෆෙඩරල් සහ ප්‍රාන්ත නියාමකයින් විසින් පරීක්ෂා කිරීමෙන් පසු නිෂ්පාදනය නතර කරන ලෙස රීමන් ලැබ්ස් වෙත නියෝග කළ බව ඉන්දීය පාලක පක්ෂය පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා.
රීමන් ලැබ්ස් Naturcold කැස්ස සිරප් නිෂ්පාදකයා ලෙසට හඳුනාගෙන ඇති බව සඳහන්.
මෙම නිෂ්පාදනය භාවිතයෙන් කැමරූන් හි අවම වශයෙන් ළමුන් හය දෙනෙකුගේ මරණ සිදුවී ඇතැයි වාර්තා වන අතර ඇතැම් මාධ්‍ය වාර්තා කළේ ළමුන් 12 දෙනෙකු මිය ගිය බවයි.













