ගුවනේදී රුසියානු වෛද්‍යවරයාගේ සල්ලි පැන්නූ චීන ජාතිකයා කොළඹ කැසිනෝ ශාලාවක දී මාට්ටු

අබුඩාබි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ගුවන් යානය තුළ ගමන් ගත්, රුසියානු සමූහාණ්ඩුවේ ප්‍රධාන සංක්‍රමණික වෛද්‍යවරයාගේ අත් බෑගයේ තිබූ රුපියල් ලක්ෂ තිස් එකක් වටිනා ඇමෙරිකානු ඩොලර් 9,900 ක මුදලක්, වෛද්‍යවරයා නිදි අතර සොරා ගත් චීන ජාතිකයෙක් ඊයේ (30) දින කොළඹ, කොටුව කැසිනෝ ශාලාවක දී කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 394 දරන ගුවන් යානය ඊයේ (30) අලුයම 03.00ට අබුඩාබි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

එහි ගමන් ගත් මෙම රුසියානු වෛද්‍යවරයා, නිදා ගෙන සිටියදී, ඔහුගේ අත් බෑගය, ගමන් මලු රාක්කයේ තබා තිබියදී , මෙම චීන ජාතිකයා විසින් මෙම සොරකම සිදුකර තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපොළෙන් බැස ගත් රුසියානු වෛද්‍යවරයා , තම අත් බෑගයෙහි තිබූ මුදල් අඩු බව වැටහී ඊයේ (30) දින අලුයම 04.00 ට ගුවන් තොටුපොළ පොලීසිය වෙත පැමිණ මේ පිළිබද පැමිණිළි කර තිබෙනවා.

අනතුරුව ගුවන් තොටුපොළ පොලීසිය, ගුවන් තොටුපොළ ආරක්ෂක කැමරා පද්ධතිය පරීක්ෂා කර, මෙම ගුවන් යානයෙහි පැමිණි එකම චීන ජාතිකයා වූ මොහු, කඩිනමින්, ගුවන් තොටුපොළ ආරක්ෂක කැමරා මග හරිමින් පිටතට ගමන් කර, ගුවන් තොටුපොළ කුළී රථයක නැගී පළා යන අන්දම නිරීක්ෂණය වී තිබෙනවා.

ඒ අනුව එම කුළී රථ සේවා කවුන්ටරය වෙත ගොස් අදාළ කුළී රථයේ ගමනාන්තය සොයා ගෙන , පොලිස් නිලධාරීන් පිරිසක් ද කොළඹ, කොටුව කැසිනෝ ශාලාව වෙත ගොස් , එහි ආරක්ෂ කැමරා පද්ධතිය පරීක්ෂා කර, මෙම චීන ජාතිකයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.