වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක කොන්දේසි මත නිදහස්

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිල දී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා සුදුසු ඇප කොන්දේසි මත මුදා හරින ලෙස අභියාචනාධිකරණය අද (25) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට නියෝග කළා.

පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ බී. ශෂී මහේන්ද්‍රන් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූවා.

තමන්ව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය නීතියට පටහැනි බවත් එබැවින් එය බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා වෛද්‍ය කපිල වික්‍රනායක මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

එමෙන්ම ඕනෑම කොන්දේසියක් මත ඇප නියම කරන ලෙස රීට් ආඥාවක් පෙත්සම්කරු පෙත්සම මඟින් ඉල්ලා සිටිනවා.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක සහ මාලිගාකන්ද මහේත්‍රාත්වරිය ඇතුළු පිරිසන් නම් කර තිබෙනවා.

පෙත්සමකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ ආචාර්යය රොමේෂ් ද සිල්වා, ජනාධිපති නිතීඥ සරත් ජයමාන්න යන මහත්තුරු පෙනී සිටියා.

පෙත්සම සැප්තැම්බර් 5 යළි කැඳවීමට නියමිතයි.