spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වේගයෙන් ඉහළට යන ඉන්දීය ආර්ථිකයෙන් ශ්‍රී ලංකාවට ඇති ප්‍රතිලාභ

ඉතිහාසයේ බරපතලම ආර්ථික හා දේශපාලන අර්බුදයකට රට ලක් වූ පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ සහයට පැමිණි අසල්වැසි ඉන්දියාව ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5ක පැකේජයක් ලබා දුන්නා.

එම පැකේජයට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ, ඛනිජ තෙල් ඇතුළු ජන ජීවිතය පවත්වාගෙන යෑම සඳහා අත්‍යවශ්‍ය බොහෝ දේ අන්තර්ගත වුණා.

ඉන්දියාව ඒ මොහොතේ උපකාරයට නොසිටියේ නම් රට මුහුණදුන් දැවැන්ත ආර්ථික අර්බුදයෙන් මේතාක් දුරට හෝ ගොඩඒම ශ්‍රී ලංකාවට බරපතල අභියෝගයක් වන බවට සැක නැහැ.

ඒ යටතේ ලැබුණු ඩොලර් බිලියනයක ණය සහනය පසුගිය දා තවදුරටත් දීර්ඝ කෙරුණු අතර, එම දීර්ඝ කිරීමෙන් සතියක් ගත වීමටත් පෙර ඇමෙරිකානු ඩොලර් මිලියන 10.5කට වැඩි ආනයන ඇණවුම් 9ක් නිෂ්කාශනය කර ඇතැයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළා.

අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට සහය වීමට තවදුරටත් කැප වී සිටින බවද ඉන්දියාව අවධාරණය කරනවා.

එවන් පසුබිමක වොෂින්ටන් නුවරදී පැවති ඉන්දු – ඇමෙරිකා ව්‍යාපාරික කවුන්සිලයේ වාර්ෂික සමුලුවේදී එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දෙන සහය අගය කළා.

ණය බර සංවර්ධනය වෙමින් පවතින රටවල සාර්ව ආර්ථිකයේ වර්ධනයට සහ ස්ථවරත්වයට දැඩි අවදානමක් ඇති කරන බවත් කාලානුරූප සහ පරිපූර්ණ ණය විසඳුම් එම රටවලට ලබා දීම සඳහා තවත් බොහෝ දේ කළ යුතුව ඇති බවත් භාණ්ඩාගාර ලේකම්වරිය පැවසුවා.

එහිදී ඇය වැඩිදුරටත් සඳහන් කළේ කඩිනම් අවශ්‍යතාවක් ලෙස සලකා ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳීම සඳහා ඇමෙරිකාව ඇතුලු රටවල් ඉදිරිපත් වූ අතර මෙරට ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යෑම සඳහා ඉන්දියාවේ දිරි ගන්වන සුලු ක්‍රියාමාර්ග විශේෂ සහයක් වන බවයි.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ධුරයට පත් වීමෙන් පසු පළමුවරට ජුලි මාසයේ දී නවදිල්ලියේ සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.

ජනාධිපතිවරයා එහිදී ඉන්දීය අග්‍රාමත්‍ය නරේන්ද්‍ර මෝදි හා ජනාධිපති ද්‍රෞපදි මුර්මු සමග ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය 1990 ගණන්වල ඉන්දියාවේ අත්දැකීම් පිළිබඳ මතකයන් අවදි කරයි.

එහෙත් තීරණාත්මක මට්ටමකට වර්ධනය වීමට පෙර තත්ත්වය නිවැරදි කිරීමට ඉන්දියාව සමත් විය.

1991 වන විට ඉන්දියාව සිටියේ ද සිය විදෙස් ණය පැහැර හැරීමේ අවදානමකයි.

කෙසේ වෙතත්, පරිවර්තනීය ආර්ථික ප්‍රතිසංස්කරණ මාලාවක් ක්‍රියාත්මක කරමින්, 1991 ආර්ථික අර්බුදයෙන් ඉන්දියාව කැපී පෙනෙන ප්‍රකෘතියක් ලබා ගැනීමට සමත් වුණා.

මෙම අර්බුදය, ගැඹුරින් මුල් බැසගත් ව්‍යුහාත්මක ආර්ථික ගැටළු විසඳීමට සහ නිර්භීත ප්‍රතිපත්ති වෙනස්කම් ක්‍රියාවට නැංවීමට ඉන්දීය රජය අවස්ථාවක් කරගත් අතර එහි ප්‍රතිඵලයක් ලෙස අද වන විට ඉන්දියානු ආර්ථිකය ඉතා වේගයෙන් වර්ධනය වෙමින් පවතින අතර ලොව පස්වන විශාලතම ආර්ථිකය සහ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකයක් ලෙස සම්ප්‍රදායික ආර්ථික බලවතුන්ට අභියෝගයක් වී සිටිනවා.

ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලය විසින් මෑතකදී නිකුත් කරන ලද දත්ත වලට අනුව, 2023 මූල්‍ය වර්ෂයේ මාර්තු මාසයෙන් අවසන්වූ කාර්තුව තුළ 7.2% ක වේගයකින් දළ දේශීය නිෂ්පාදිතය වර්ධනය වීමෙන් ඉන්දියාවේ ආර්ථිකය පෙර වසරේ සිදුකර තිබූ නිල පුරෝකථනය ඉක්මවා යෑමක්.

මෙම ආකර්ෂණීය වර්ධනය මූලික වශයෙන් කෘෂිකාර්මික, ඉදිකිරීම් සහ සේවාවන්හි ශක්තිමත්කම හේතුවෙන් සිදුව තිබුණා.

විශේෂයෙන් මාර්තු 31 වැනිදායින් අවසන් වූ කාර්තුවේදී, දළ දේශීය නිෂ්පාදිතය (GDP) කැපී පෙනෙන වර්ධනයක් අත්කර ගත් අතර, එය ඊට පෙර මාස තුනේ 4.5%ක වර්ධනයට සාපේක්ෂව 6.1% කින් සහ පෙර වසරේ අනුරූප කාර්තුවේ වර්ධන වේගයට සාපේක්ෂව 04%ක වර්ධනයක්.

ජනතාවගේ ගෘහස්ථ වියදම් පවා 2.82% ක ඉහළ යාමක් පෙන්නුම් කළා.

එහි අදහස වන්නේ ජනතාව අත වැඩියෙන් මුදල් ගැවසෙන බවයි

2023 වසර අවසන් වන විට ඉන්දියාවේ ආර්ථිකය ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 3.7 ඉක්මවනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.

2027 වන විට ඉන්දියාව USD ට්‍රිලියන 5.4 ක ආර්ථිකයක් සමඟ ජර්මනිය සහ ජපානය අභිබවා ලොව විශාලතම ආර්ථිකයන් අතර තුන්වන ස්ථානයට පත්වනු ඇතැයි අපේක්ෂා කරනවා.

දේශීය වශයෙන් ගත් කල, ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ රට දැනටමත් ප්‍රතිපත්ති සම්පාදනයේ සැලකිය යුතු ප්‍රතිසංස්කරණ ඇති කර තිබෙනවා.

ඉන්දියාව මෙලෙස ඉතා ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් සහ සමෘද්ධියක් අත්කරගනිමින් සිටියදී, එහි යාබද අසල්වැසියා වන ශ්‍රී ලංකාව තවමත් පසුවන්නේ, දැඩි ලෙස උපකාර අවශ්‍ය වන ආර්ථික අවපාතයකට හසුවයි.

ශ්‍රී ලංකා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අනාවරණය කළ ආකාරයට රටේ ආර්ථිකය මේ වසරේ පළමු කාර්තුවේදී සියයට 11.5 ක ඇති විශාල අගයකින් හැකිලී තිබෙනවා.

එමනිසාම අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනට සමගාමිව ශ්‍රී ලංකාවට අනිවාර්ය මූල්‍ය සහායක් අත්‍යවශ්‍යව තිබේ.

පසුගියදා පැවති කොළඹ වරායේ තිස් අවුරුදු සංවර්ධන සැලැස්ම ඉදිරිපත් කිරීමේ අවස්ථාව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දියාවේ ජනගහන වර්ධනය සහ කාර්මීකරණය පිළිබඳ සිය අදහස පල කරමින්, ඉන්දියාව ලොව ජනාකීර්ණම රට බවට පත්වීමත්, ශීඝ්‍ර කාර්මිකකරණයක් අත්විඳීමත් සමඟ ශ්‍රී ලංකාවට කලාපයේ ගුවන් හා මුහුදු කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමට මෙම වර්ධනයන් උපයෝගී කර ගත හැකි බව පෙන්වා දුන්නා.

එසේම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින වසර දහස් ගණනක සම්බන්ධතාවය සහ ඉන්දියාවේ දකුණු අසල්වැසියාට වර්තමානයේ ලැබී ඇති අවස්ථා ගවේෂණය කිරීමේ වැදගත්කමද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළා.

ගුජරාට්, මහාරාෂ්ට්‍ර සහ තමිල්නාඩු වැනි ප්‍රාන්තවල කාර්මීකරණය ශීඝ්‍රයෙන් දියුණු වෙමින් පවතින අතර, ඊට සමගාමිව 2050 වන විට ඉන්දියාවේ ජනගහනය බිලියන 1.7 දක්වා ළඟා වනු ඇතැයිද ජනපති වික්‍රමසිංහ අනාවැකි පළ කරනවා.

2010 දී චීනයේ ප්‍රගතියට සාපේක්ෂව ඉන්දියාවේ කාර්මීකරණය තවමත් එහි මුල් අවධියේ පවතින නමුත්, එය අංක ගණිතයට වඩා වේගවත් ජ්‍යාමිතික වේගයකින් ඉදිරියට යනු ඇතැයි අපේක්ෂා කරන බව ඔහු සඳහන් කළා.

අනාගතයේදී ඉන්දියාවේ කාර්මීකරණය අනෙකුත් ප්‍රදේශවලදට ව්‍යාප්ත වන බැවින් මෙය ශ්‍රී ලංකාවට මහඟු අවස්ථා නිර්මාණය කරදී ඇති බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

වරාය මෙහෙයුම්, බලශක්තිය මෙන්ම ධීවර කර්මාන්තය යන විෂය ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් ඉන්දියාව සමග එක්ව කටයුතු කිරීමේ දැනටමත් රජය ආරම්භ කර තිබෙනවා.

මෙලෙස ඉන්දියාව කෙරෙහි ධනාත්මක දැක්මක් වත්මන් ජනාධිපතිවරයාට පවතින නමුත් එය සාක්ෂාත් කර ගැනීම සඳහා දේශපාලනිකව කලින් කලට නොවෙනස් වන ව්‍යුහාත්මකව ශක්තිමත් විදේශ ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාව විසින් අනුගමනය කළයුතුයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?