spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදුලි බිල අවම මට්ටමකට ගෙන ඒමට සැලසුම් (වීඩියෝ)

රටේ විදුලිබල අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීමට කෙරෙහි අවධානය යොමු කිරීම තුළින් විදුලි බිල අවම මට්ටමකට ගෙන ඒමට සැලසුම් සකස් කරන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පවසනවා.

2019 වසරේදී ඉලක්ක කළ 70%ක පුනර්ජනනීය බලශක්ති නිපදවීමේ වැඩපිළිවෙළ තවදුරටත් ක්‍රියාත්මක කර, එම අරමුණ සපුරා ගැනීමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (20) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ,

පුනර්ජනනීය බලශක්තිය මෙරට විශාලතම බලශක්ති ප්‍රභවයයි. එය දියුණු කිරීමෙන් ඉන්ධන සඳහා වැය වන මුදල රට තුළ රඳවා තබා ගැනීමට හැකියාව තිබෙනවා. ඉන්ධන සඳහා වැය වන මුදල අඩු වීම තුළින් විදුලි බිල අවම මට්ටමකට ගෙන ඒමටද හැකියාව තිබෙනවා. ඒ වගේම එම මුදල් වෙනත් සංවර්ධන කටයුතු වෙනුවෙන් යොදා ගැනීමට ද පුළුවන්කම ලැබෙනවා.

මෙරට බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තිය යොදා ගැනීමට සැලසුම් සකස් කරමින් පවතිනවා. 2019 වසරේදී පැවති රජය විසින් පුනර්ජනනීය බලශක්ති වැඩපිළිවෙළ සම්බන්ධව අවධානය යොමු කළා. එම නිසා 70%ක පුනර්ජනනීය බලශක්තිය නිපදවීමේ අරමුණ එසේම ක්‍රියාත්මක කිරීමටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබෙනවා.

මේ වන විට වහලය මත සකස් කළ සූර්ය බලාගාරවලින් මෙගාවොට් 685ක්, බිම සවි කරන ලද සූර්ය බලාගාවලින් මෙගාවොට් 140ක්, සුළං විදුලි බලාගාරවලින් මෙගාවොට් 263ක්, කුඩා ජල විදුලි බලාගාරවලින් මෙගාවොට් 434ක් හා විශාල ජල විදුලි බලාගාරවලින් මෙගාවොට් 1573ක් ද වශයෙන් විදුලිය ජාතික පද්ධතියට ලැබෙනවා.

එසේම සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් සූර්ය බලාගාර සහ සුළං බලාගාර ඉදිකිරීම සඳහා අවශ්‍ය කරන ප්‍රදේශ හඳුනා ගැනීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ අනුව මේ වන විට සුළං බලාගාර සහ සූර්ය බලාගාර ඉදිකිරීමට ඉතා සුදුසු ඉඩම් සිතියමක ලකුණු කර, ඒ සඳහා ආයෝජකයන්ට අවශ්‍ය තොරතුරු ලබාදීමට හැකියාව තිබෙනවා.

මීට අමතරව දැනට ව්‍යාපෘතිවල නිරතව සිටින ආයෝජකයන්ගේ ප්‍රගතිය සොයා බැලීමටත්, එහි කාර්යක්ෂමතාව සම්බන්ධයෙන් සොයා බැලීමටත් රාජ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා තිබෙනවා. මෙයට සමගාමීව ව්‍යාපෘතිවලට ලබාදෙන අනුමැතිය ඉතා කෙටි කාලයක් තුළදී ලබාදීමටත් අවශ්‍ය කරන ක්‍රමවේද සකස් කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් ප්‍රධාන පද්ධතියට එකතු වීමේදී ඇති විය හැකි අස්ථාවරත්වය මඟහරවා ගැනීමට ඉන්දියාව හරහා දකුණු ආසියානු විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීමට අවශ්‍ය මූලික සැලසුම් දැනටමත් සකස් කර අවසන් කර තිබෙනවා.

මෙරට බලශක්තිය වැඩිදියුණු කිරීමට වඩාත් හොඳ සැලසුමක් අවශ්‍ය කරනවා. ඒ සඳහා විදුලිබල මණ්ඩලය 2023 සිට 2026 දක්වා එක් සැලසුමක් සහ 2027 සිට 2030 දක්වා එහි දිගුවක් ලෙසිනුත් සැලසුම් සකස් කර අවසන් කර තිබෙනවා. එය පදනම් කරගෙන අවශ්‍යතාවය අනුව අදාළ සැලසුම් වෙනස් කර රටට අවශ්‍ය විදුලිබලය නිපදවීමට හැකියාව පවතිනවා.

විදුලි ජනන ප්‍රභවයන් ගොඩනැඟීම සඳහා ආයෝජකයන් හඳුනාගෙන තිබෙනවා. මූලික අනුමැතිය ලබාගත්, අවුරුදු දෙකක් ඇතුළත ව්‍යාපෘති ආරම්භ නොකළ ආයෝජකයන්ගේ අනුමැතීන් අවලංගු කර එම ව්‍යාපෘති වෙනත් ආයෝජකයන්ට ලබාදීමටත් තීරණය කර තිබෙනවා.

නව ආයෝජකයන් සොයා ගැනීමේදී පවතින ක්‍රමවේදවලට බැහැරව ගොස් ඒ සඳහා උනන්දුවක් දක්වන ආයෝජකයන්ට පමණක් ව්‍යාපෘති භාරදීම තුළින් ද පුනර්ජනනීය බලශක්තිය නිපදවීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට ද අවධානය යොමු වී තිබෙනවා.

උමා ඔය ව්‍යාපෘතියේ වැඩකටයුතු විවිධ හේතූන් මත ප්‍රමාද වී තිබෙනවා. නමුත් මේ වන විට එහි වැඩ කටයුතු අවසන් අදියරේ පවතිනවා. එම නිසා ලබන මාසය වන විට එහි නිපදවන විදුලිය ප්‍රධාන පද්ධතියට එකතු කිරීමට බලාපොරොත්තු වෙනවා.

මෙරට පවතින විභවය අනුව විශාල පද්ධතීන් ක්‍රියාත්මක කිරීමට හැකිවුවත් ඒ සඳහා මහා පරිමාණ ආයෝජකයන් අවශ්‍යයි. ඒ අනුව උතුරේ ඇති විශාල සුළං බලාගාර සඳහා ඉන්දියාවේ ආදානි සමාගම ඉදිරිපත්ව තිබෙනවා.

මීට අමතරව සම්ප්‍රේෂණ කටයුතු කිරීමට ද ඔවුන් විසින් ආයෝජනය කරනු ඇතැයි විශ්වාස කරනවා. එමගින් විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ ඇති බාධාවන් අවම කර අවශ්‍ය ස්ථානවලට සම්ප්‍රේෂණය කිරීමට ද හැකියාවක් පවතිනවා.

පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයේ වැඩි වීමත් සමඟ ජල විදුලි බලාගාරවල ජලය ඉහළට පොම්ප කර ජලය ශක්තිය ලෙස ගබඩා කර භාවිත කරන තාක්ෂණය සඳහා මූලික සැලසුම් සකස් කර තිබෙනවා. එම වැඩපිළිවෙළ ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර මත කඩිනම් කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. සිංගප්පූරුව සමඟ ඇති කරගෙන තිබෙන කාබන් විමෝචනය අවම කර ගැනීමේ අවබෝධතා ගිවිසුමට අනුව මෙරට වැඩිපුර පුනර්ජනනීය ශක්තිය භාවිත කිරීම තුළින් සහනදායී පොළී අනුපාත ලබා ගැනීමටත්, ඒ සඳහා ආපසු මුදල් ලබා ගැනීමේ ක්‍රමවේද සකස් කර ගැනීමටත් හැකියාව පවතිනවා.

මීට අමතරව පරමාණු බලශක්තියෙන් විදුලිය නිපදවීමේ හැකියාව සම්බන්ධයෙන් ද රජය සොයා බලමින් සිටිනවා. මේ සඳහා කාලයක් ගත වන නමුත් ඒ වෙනුවෙන් ශක්‍යතා අධ්‍යයනයක් කිරීමට ද බලාපොරොත්තු වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?