“රටේ ආර්ථික සංවර්ධනයට වැඩි දායකත්වයක් ලබාදිය හැකි වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය පුළුල් කිරීම රජයේ අරමුණයි”

රටේ ආර්ථික සංවර්ධනයට වැඩි දායකත්වයක් ලබාදිය හැකි වන සේ, වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය පුළුල් කිරීම රජයේ අරමුණ බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

2026 අයවැය යටතේ වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් සහ එහි ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා රුපියල් මිලියන 8,000ක ප්‍රතිපාදන වෙන් කර ඇති බවත් ඇය සඳහන් කළා.

අද (23) දින කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ දී පැවති “අනාගතය දිනන ශ්‍රම බලකායක්” යන තේමාව පෙරදැරිව, ‘නිපුණතාවයට නව වටිනාකමක් එක් කරන “Sri Lanka Skills Expo 2026″ජාතික ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය සඳහා එක්වූ අවස්ථාවේ දී අග්‍රාමාත්‍යවරිය මේ බව පවසා සිටියා.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ මඟපෙන්වීම යටතේ, කෘෂිකර්ම අංශයේ කුසලතා මණ්ඩලය (ASSC), කර්මාන්ත අංශයේ කුසලතා මණ්ඩල (ISSCs) සහ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබෙනවා.

සිව්වන වරටත් පවත්වනු ලබන මෙම වැඩසටහන ඔක්තෝබර් 23, 24 සහ 25 යන තෙදින පුරා පැවැත් වෙනවා.

කෘත්‍රිම බුද්ධිය (AI) ඇතුළු නවීන තාක්ෂණික ප්‍රවණතාවන්ට ගැළපෙන පරිදි තරුණ පරපුරේ ප්‍රායෝගික කුසලතාවන් ඔප්නංවා, ඔවුන් ජාත්‍යන්තර මට්ටමෙන් පිළිගත් වෘත්තීය සුදුසුකම් (NVQ) සහිත ශ්‍රම බලකායක් බවට පත් කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.

එහිදී අග්‍රාමාත්‍යවරිය විවිධ වෘත්තීය ක්ෂේත්‍ර නියෝජනය කරන ප්‍රදර්ශන කුටි නිරීක්ෂණය කිරීමට එක්වූ අතර, ඩ්‍රෝන යානා මෙහෙයවීම පිළිබඳ ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) පාඨමාලාව සාර්ථකව අවසන් කළ ප්‍රථම ශිෂ්‍ය කණ්ඩායම වෙත සහතිකපත් ප්‍රදානය කිරීම ද අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

එමෙන්ම, තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන සහ පුහුණු අංශයේ උපායමාර්ගික රාමුව මෙහිදී අග්‍රාමාත්‍යවරිය වෙත ඉදිරිපත් කරනු ලැබුවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ 2025 වසරේ දී ආරම්භ කළ අධ්‍යාපන පරිවර්තන වැඩපිළිවෙළේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස SKILL EXPO වැඩසටහන හඳුන්වා දිය හැකි බවයි.

දැනුමෙන් පමණක් නොව කුසලතා, නිපුණතා හා යහපත් වටිනාකම්වලින් පිරිපුන් පුරවැසියන් බිහි කිරීම වත්මන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රධාන අරමුණක් වන බවත් අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළා.

අධ්‍යාපන ක්‍රමය තුළ මෙතෙක් සාපේක්ෂව අඩු අවධානයක් හිමිව තිබූ වෘත්තීය අධ්‍යාපනය හා වෘත්තීය පුහුණු ක්ෂේත්‍රය තවදුරටත් දෙවැනි තැනක නොතබා, ජාතික අධ්‍යාපන පද්ධතියේ ප්‍රමුඛ අංශයක් ලෙස සංවර්ධනය කළ යුතු බව ද ඇය අවධාරණය කළා.

රටේ සියලු දෙනාටම ආර්ථිකයට සහභාගී වීමටත්, ආර්ථික අවස්ථා ඔස්සෙ ප්‍රතිලාභ භුක්ති විඳීමටත් හැකි පරිසරයක් නිර්මාණය කිරීම රජයේ ආර්ථික ප්‍රතිපත්තියේ අරමුණ බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, ඒ සඳහා අවශ්‍ය කුසලතා හා නිපුණතාවලින් යුත් මානව සම්පතක් ගොඩනැගීමේදී වෘත්තීය අධ්‍යාපනයට තීරණාත්මක කාර්යභාරයක් පැවරෙන බව සඳහන් කළා.

2026 අයවැය තුළින් වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් හා ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා රුපියල් මිලියන 8,000ක ප්‍රතිපාදන වෙන් කර ඇති බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී ප්‍රකාශ කළා.

ඒ යටතේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන, විශිෂ්ටතා මධ්‍යස්ථාන (Centres of Excellence) බවට උසස් කිරීමටත්, තවත් පුහුණු මධ්‍යස්ථාන 50ක් සංවර්ධනය කිරීමටත් අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බව ඇය පැවසුවා.

එමෙන්ම, 2027 වසරේ සිට 6 වන ශ්‍රේණියේදී හඳුන්වාදීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔස්සේ සිසුන්ට විවිධ වෘත්තීය ක්ෂේත්‍ර පිළිබඳව අවබෝධයක් සහ ප්‍රායෝගික අත්දැකීම් ලබාගැනීමට අවස්ථාව සැලසෙන බව ද අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළා.