මිදිගම වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් 03කු සැකපිට අත්අඩංගුවට

මිදිගම – බටවල, පාතේගම ප්‍රදේශයේ ව්‍යාපාරික නිවසකට අද (17) අලුයම එල්ල වූ වෙඩි තැබීමේ සිදුවීමට සැකපිට පුද්ගලයින් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මිදිගම පොලිසිය පැවසුවේ වෙඩි තැබීම සඳහා භාවිත කර ඇත්තේ පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් බවත් ඉන් අලුයම 2.10ට පමණ වෙඩි ප්‍රහාර 05ක් ද එල්ල කර ඇති බවයි.

වෙඩි තැබීමෙන් නිවසෙහි දොර – ජනෙල්වලට හානි සිදු ව තිබෙනවා.

වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් ජීවිත හානි හෝ තුවාල සිදු ව නැහැ.

සැකකරුවන් මිදිගම – පාතේගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28,40 හා 41 සීමාවේ පසුවන්නන්.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.