නීති විරෝධී අන්දමින් උපයා ගන්නා ලද මුදලින් ලද දේපළ හා වත්කම් මිලදී ගැනීම සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් සැකකාරික් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, කොළඹ 14, ෆර්ගියුෂන් පාර ප්‍රදේශයේ පදිංචි මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද මුදලින් දේපළ හා වත්කම් උපයාගෙන ඇති බවට පොලිස්පතිවරයාට ලද තොරතුරකට අනුව එම විමර්ශන කොට්ඨාසය සිදුකළ විමර්ශනවලට අදාළවයි.
එම කොට්ඨාසය මඟින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු එම වත්කම් හා දේපළ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතෙහි ප්‍රතිපාදන ප්‍රකාරව ක්‍රියා විරහිත කර ඇති අතර, මීගමුව හා කොළඹ මහාධිකරණ මගින් ක්‍රියා විරහිත කිරීම දීර්ඝ කර තිබෙනවා.
එලෙස ක්‍රියා විරහිත කර ඇති දේපළ අතර,
ජා ඇල ප්‍රදේශයේ ලක්ෂ 14 ක් වටිනා පර්චස් 8.66 ඉඩම
බැංකු ගිණුම් 06 ක ගිණුම් ගත කර තිබූ රුපියල් ලක්ෂ 59 ක මුදල
කොළඹ 14 ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 225 ක් වටිනා කඩ කාමර 03
කොළඹ 14 ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 75 ක් වටිනා කඩ කාමර 01
කොළඹ 14 ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 200 ක් වටිනා තෙමහල් නිවස සහිත ඉඩමක් අයත්.
ඒ, අනුව මෙම දේපළ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා ලද දේපල බවට විමර්ශනයේ දී අනාවරණය වීම හේතුවෙන් වයස අවුරුදු 53 ක් වන සැකකාරිය ඊයේ (13) අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.













