බංග්ලාදේශයේ පවුල්වලින් භාගෙට භාගයක් ණය බරින්

බංග්ලාදේශයේ පවුල්වලින් සියයට 47කට වැඩි ප්‍රමාණයක් ජීවන වියදම් පියවා ගැනීම සඳහා ණය ගැනීමට පෙළඹී ඇති බව නව සමීක්ෂණයකින් හෙළි වී තිබේ. ආදායම් වර්ධනය එකතැන පල්වෙද්දී ජීවන වියදම් ඉහළ යාම හේතුවෙන්, විශේෂයෙන් ග්‍රාමීය පවුල් දැඩි පීඩනයකට ලක්ව ඇති බව එම වාර්තාව පෙන්වා දෙනවා.

බංග්ලාදේශ සංඛ්‍යාලේඛන කාර්යාංශය, ජාතික වැටුප් කොමිසමේ ඉල්ලීම මත සිදුකළ 2025 ජීවන තත්ත්ව සමීක්ෂණයට අනුව, රටේ පවුල්වලින් සියයට 47.42ක් මූලික වියදම් පියවා ගැනීම සඳහා ණය වී තිබෙනවා.

පසුගිය වසර තුළ ග්‍රාමීය පවුල්වලින් සියයට 51.91ක්, නාගරික පවුල්වලින් සියයට 40.19ක් දෛනික ජීවන වියදම් සඳහා ණය ගැනීමට සිදුව ඇති බව සමීක්ෂණයෙන් අනාවරණය වී තිබෙනවා.

සමීක්ෂණයට අනුව, බංග්ලාදේශයේ සාමාන්‍ය මාසික පවුල් ආදායම ටකා 33,513ක් වන අතර, සාමාන්‍ය මාසික වියදම ටකා 35,311කි. ඒ අනුව, සාමාන්‍ය පවුලක වියදම ආදායම ඉක්මවා තිබෙනවා.

නාගරික ප්‍රදේශවල පවුල්වල මාසික වියදම ඉහළම අගය වන ටකා 46,778ක් ලෙස වාර්තා වී ඇත. ග්‍රාමීය ප්‍රදේශවල ටකා 32,532ක්.