පිල්ලෙයාන් නොවැම්බර් 10 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ්

නැගෙනහිර පළාතේ කල්අඩි, කාත්තන්කුඩි සහ කන්නන්කුඩා යන ප්‍රදේශවලදී පුද්ගලයන් පස්දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධීන්ට අදාලව නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් ‘පිල්ලෙයාන්’ ඇතුළු දෙදෙනෙක් ලබන (10) වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම සිද්ධියේ තෙවැනි සැකකරු ලෙස නම් කර සිටින නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් ‘පිල්ලෙයාන්’ යන අය ඇතුළු දෙදෙනක් සූම් තාක්ෂණය ඔස්සේ අද (27) අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාරය පියවරගෙන තිබුණා.

එහිදී මඩකලපුව මහෙස්ත්‍රාත් ඒ.දර්ශනි, එකී නියෝගය නිකුත් කළා.

මඩකලපුව විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයා ඝාතනය කිරීමේ සිද්ධියට අදාලව ද මෙම සැකකාර සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් යන අය රක්ෂිත භාරයේ පසුවනවා.

මෙම සැකකරුවන්ට එරෙහිව ඇති චෝදනා ලෙස, පොලිස් තොරතුරුවලට අනුව, පළමු සිදුවීම වාර්තා වන්නේ ඉකුත් 2008 ජනවාරි 09 වැනිදායි.

ඒ, කල්අඩි ප්‍රදේශයේ මුරුගන් කෝවිල අසල ක්‍රීඩාංගණයේදී ටී-56 ගිනිඅවියකින් වෙඩි තබා හිටපු පොලිස් නිලධාරියෙකු ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීමයි.

මෙම සැකකරුවන් විසින් ඉකුත් 2008 මැයි 22 වනදා කාත්තන්කුඩි පොලිස් වසමේ ප්‍රධාන වීදියේදී තවත් පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇති අතර, ඉකුත් 2008 අගෝස්තු 20 වැනිදා රාත්‍රී කාලයේදී වව්නතිවු පොලිස් වසමට අයත් කොන්තියාපොල, කන්නන්කුඩා ප්‍රදේශයේදී තවත් පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බවයි පොලිසිය සඳහන් කරනවා.

මෙම අපරාධයන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරුවන් තිදෙනෙකු නම් කර ඇති අතර ඉන් පළමු සැකකරු මේ වන විට විදේශගතව සිටින බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මෙම පංච පුද්ගල ඝාතන සිද්ධීන්වල තුන්වන සැකකරු ලෙස නම් කර සිටින්නේ ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් ‘පිල්ලෙයාන්’ නමැත්තායි.

අදාළ ඝාතන 5 සම්බන්ධයෙන් පිල්ලෙයාන් සහ ලන්ඩනයේ පදිංචි ‘පොලිස් බෝයිස්’ ලෙස හඳුන්වන කාත්තන්කුඩි ප්‍රදේශයේ මොහොමඩ් බෝයිස් ඇතුළු 4 දෙනෙකුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මාතලේ මහෙස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර තිබූ මෙම නඩුවේ තුන්වන සැකකරු ලෙස නම් කර සිටින්නේ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ය.

කල්ලඩි ප්‍රදේශයේ සිදුවූ ඝාතන පහකට අදාළව ගොනු කර ඇති චෝදනා තුනක් සහ තවත් එක් චෝදනාවක් පදනම් කර ගනිමින් නඩු කටයුතු සිදු කෙරුණා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ 2008 වසරේදී ටී 56 ගිනිඅවි භාවිත කරමින් සිදු කර ඇති ඝාතන කිහිපයක් පිළිබඳව අනාවරණය වූ තොරතුරු මත මෙම නඩු පවරා ඇති බවයි.

ඒ අනුව 2008 ජනවාරි 09 වනදා මඩකලපුව කල්ලඩි මුරුගන් කෝවිල ආසන්නයේදී හිටපු පොලිස් නිලධාරියෙකු ඇතුළු දෙදෙනෙකුට වෙඩි තබා ජීවිතක්ෂයට පත් කිරීම, 2008 මැයි 22 වනදා කාත්තන්කුඩි ප්‍රධාන මාර්ගයේදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීම, 2008 අගෝස්තු 20 වනදා වවුනතීව්, කොතියපුල ප්‍රදේශයේදී රාත්‍රී කාලයේදී සන්නද්ධ කණ්ඩායමක් විසින් තවත් පුද්ගලයෙකුට වෙඩි තබා ජීවිතක්ෂයට පත් කිරීම යන සිදුවීම්වලට පිල්ලෙයාන් ඍජුවම සම්බන්ධ බවට හඳුනාගෙන තිබෙනවා .

ඉදිරිපත් වූ සියලු කරුණු සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරිය සැකකරු නොවැම්බර් 10 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් කිරීමට නියෝග කළා.

එමෙන්ම මෙම සිදුවීමටම අදාළව පවතින කල්ලඩි ප්‍රදේශයේ ඉඩම් ආරවුලක් සම්බන්ධ නඩුව එළඹෙන ඔක්තෝබර් 29 වන දින කැඳවීමට නියමිතයි.