ඥානසාර හිමිට නිදහස ඉල්ලා මහානායක හිමිවරුන් රජයෙන් ඉල්ලීමක් සිදුකර නැහැ – ඇමති නලින්ද

ගලගොඩ අත්තේ ඥානසාර හිමිට නිදහස ලබාදීම සඳහා මහානායක හිමිවරුන් මේවන තෙක් රජයෙන් ඉල්ලීමක් සිදුකර නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

අද (27) පස්වරුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මහානායක හිමිවරුන් විසින් ඉල්ලීම් යොමු කළ ද රජය සෑම අවස්ථාවකම කටයුතු කරන්නේ රටේ පවතින නීතිය අනුව බවයි අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ.

නීතියට ඉහළින් සිටිමින් කිසිදු වෙනසක් කිරීමට රජය අදහස් නොකරන බව ද ඔහු මෙහිදී අවධාරණය කළා.

ඥානසාර හිමියන් සම්බන්ධව ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් විසින් බන්ධනාගාර කොමසාරිස්වරයාට මීට පෙර යොමුකරන ලද ලිපිය අනුව බන්ධනාගාර නිත්‍ය නියෝග වෙනස් කළ බවයි ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියේ.