ඌව පළාතේ පළාත් පාලන ආයතන 28 සඳහා නවීන තාක්ෂණයෙන් යුත් නිල වෙබ් අඩවි 28ක් කිසිදු රජයේ මුදලක් වැය නොකර නිර්මාණය කර එළිදැක්වීම සිදුකර තිබෙනවා.
පළාත් පාලන ආයතනවල සේවා කාර්යක්ෂමතාව, විනිවිදභාවය සහ නීත්‍යානුකූල පරිපාලනය ශක්තිමත් කිරීමේ අරමුණින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන විශේෂ වැඩසටහන් මාලාවට සමගාමීව මෙම වෙබ් අඩවි එළිදැක්වීම සිදුවුණා.
ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකරගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) පැවැති ඌව පළාත් වැඩසටහනේදී මෙම වෙබ් අඩවි එළිදැක්වීම සිදු කෙරුණා.
පළාත් පාලන ආයතන පවත්වාගෙන යාමේදී වර්තමානයේ මතුව ඇති පරිපාලන, නීතිමය හා ප්‍රායෝගික ගැටලු හඳුනාගෙන ඒ සඳහා විසඳුම් සෙවීමේ අරමුණින් මෙම වැඩසටහන් මාලාව සංවිධානය කර ඇත. ඒ සඳහා පළාත් පාලන ආයතන ප්‍රධානීන් සහ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ආදර්ශ සභා, ප්‍රායෝගික ක්‍රියාකාරකම්, සාකච්ඡා මණ්ඩප සහ දේශන ඇතුළු වැඩසටහන් රැසක් ඇතුළත් කර තිබෙනවා.
පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය (SLILG) සමඟ එක්ව සංවිධානය කරන මෙම වැඩසටහන් මාලාව 2026 සැප්තැම්බර් 04 වැනිදා දකුණු පළාතේ පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් මාලිම්බඩ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී ආරම්භ කෙරුණා.
අනතුරුව බස්නාහිර, සබරගමුව, උතුරු මැද සහ වයඹ පළාත්වල වැඩසටහන් ද පැවැත්වූ අතර, මධ්‍යම පළාතේ වැඩසටහන මේ මස 17 වැනිදා පැවැත්වුණා.
මෙහි විශේෂත්වය වන්නේ ඌව පළාතේ පළාත් පාලන ආයතන 28ක කලක් නිසි නඩත්තුවක් නොමැතිව අක්‍රීයව පැවති වෙබ් අඩවි වෙනුවට නව වෙබ් අඩවි හඳුන්වා දීමයි. ඌව පළාත් පළාත් පාලන දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ අංශයේ නිලධාරීන්ගේ ස්වේච්ඡා දායකත්වය සහ තාක්ෂණික දැනුම උපයෝගී කර ගනිමින් මෙම වෙබ් අඩවි නිර්මාණය කර ඇති අතර, ඒ සඳහා කිසිදු රාජ්‍ය මුදලක් වැය කර නොතිබීම විශේෂත්වයකි.
පළාත් පාලන ආයතන යනු ජනතාවට සමීපතම රාජ්‍ය පාලන මට්ටම වන අතර, මහජන සේවා සැපයීම සහ ප්‍රදේශීය සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමේදී ඒවාට විශාල වගකීමක් පැවරී තිබේ. එම කාර්යයන් වඩාත් සාර්ථකව ඉටු කිරීම සඳහා සභා පරිපාලනය, ප්‍රසම්පාදන ක්‍රියාවලිය සහ නීතිමය කටයුතු සම්බන්ධයෙන් ආයතන ප්‍රධානීන්ගේ හා නිලධාරීන්ගේ දැනුම, කුසලතා සහ වෘත්තීය හැකියාවන් වර්ධනය කිරීම මෙම වැඩසටහන් මාලාවේ ප්‍රධාන අරමුණකි.
ඒ අනුව සභා රැස්වීම් හා තීරණ ගැනීමේ ක්‍රියාවලිය, සභා තීරණ ක්‍රියාත්මක කිරීම, කාරක සභා කටයුතු, ප්‍රසම්පාදන ක්‍රියාවලියේ මූලධර්ම හා ක්‍රියාපටිපාටි, පළාත් පාලන ආයතනවල බලතල හා වගකීම් මෙන්ම අදාළ නීති හා රෙගුලාසි ප්‍රායෝගිකව යොදාගැනීම පිළිබඳව මෙහිදී දැනුම ලබාදීමට කටයුතු කර තිබෙනවා.
එමෙන්ම, පළාත් පාලන ආයතනවල දෛනික කටයුතු පවත්වාගෙන යාමේදී මතුවන ගැටලු සම්බන්ධයෙන් විවෘත සාකච්ඡා සහ අත්දැකීම් හුවමාරු කරගැනීමට ද මෙහිදී අවස්ථාව සලසා තිබෙනවා.
ඒ තුළින් ආයතන ප්‍රධානීන් හා නිලධාරීන් අතර සම්බන්ධීකරණය ශක්තිමත් කරමින් මහජන සේවා සැපයීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම අපේක්ෂා කෙරෙනවා.
මෙම අවස්ථාවට පළාත් පාලනය පිළිබඳ ප්‍රවීණ උපදේශක ගාමිණී ගුණසේකර මහතා, පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරුන්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ප්‍රධාන නීති නිලධාරිනිය, ඌව පළාත් ප්‍රධාන ලේකම්වරිය ඇතුළු පළාත් සභා නිලධාරීන්, පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ අධ්යක්ෂ ආචාර්ය ප්‍රියන්ත මුදලිගේ මහතා ඇතුළු නිලධාරීන්, මොනරාගල දිස්ත්‍රික් විගණන අධිකාරිවරයා සහ රාජ්‍ය ප්‍රසම්පාදන කටයුතු පිළිබඳ ප්‍රවීණ උපදේශක ආර්. ජී. අයි. පී. කේ. රත්ගමගේ ඇතුළු පිරිසක් සහභාගී වුණා.
ඊට අමතරව ඌව පළාතේ පළාත් පාලන ආයතන 28 නියෝජනය කරමින් නගරාධිපතිවරුන්, සභාපතිවරුන්, උප නගරාධිපතිවරුන්, උප සභාපතිවරුන්, නාගරික කොමසාරිස්වරුන් සහ සභා ලේකම්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.










