මිලියන 51ක් LankaQR හරහා ජයග්‍රාහකයින් 06 දෙනෙකු අතට

ශ්‍රී ලංකාව තුළ මුදල් නෝට්ටු භාවිතයෙන් තොර ඩිජිටල් ගෙවීම් සංස්කෘතියක් සහ පුරවැසි-වෙළඳ හැසිරවීමක් ප්‍රචලිත කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරන ලද LankaQR ජාතික ‘වාසනා දිනුම් ඇදීමේ’ (Lucky Draw) ප්‍රථම දිනුම් ඇදීම් මාලාව අද (27) GovTech ආයතන පරිශ්‍රයේදී සාර්ථකව පවත්වනු ලැබුවා.

ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය (ඉංජිනේරු) එරංග වීරරත්නගේ ප්‍රධානත්වයෙන් මෙම සමාරම්භක උත්සවය පැවැත්වුණා.

මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා, සාම්ප්‍රදායික මුදල් මත යැපෙන ගනුදෙනු ක්‍රමවේදයෙන් බැහැරව ඩිජිටල් ගෙවීම් ක්‍රම වෙත පුරවැසියන් සහ වෙළඳුන් යොමු කරවීමේ වැදගත්කම අවධාරණය කළා.

විශේෂයෙන්ම ගනුදෙනු ගාස්තු, බදු ඇඟවීම්, අරමුදල් ආරක්ෂාව සහ සැපයුම්කරුවන්ට මුදල් ගෙවීමේදී පවතින ප්‍රායෝගික අභියෝග පිළිබඳව ජනතාව තුළ ඇති සැකසංකා මගහරිමින්, විනිවිදභාවයෙන් යුතු ආරක්ෂිත ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීමට මෙමඟින් විශාල රුකුලක් ලැබෙන බව ද පෙන්වා දුන්නා.

2026 සැප්තැම්බර් 01 වන දින සිට 2027 පෙබරවාරි 28 වන දින දක්වා ක්‍රියාත්මක වන මෙම වැඩසටහන යටතේ, රුපියල් 5,000ට අඩු සියලුම ගනුදෙනු සඳහා කිසිදු ගනුදෙනු ගාස්තුවක් හෝ වෙළඳ ගාස්තුවක් (Transaction/Merchant Fees) අය නොකෙරෙන අතර, කිසිදු පූර්ව ලියාපදිංචියකින් තොරව LankaQR භාවිත කළ පාරිභෝගිකයින් සහ වෙළඳුන් ස්වයංක්‍රීයව මෙම දිනුම් ඇදීම සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.

මාස 6ක කාලය පුරා මුළු ත්‍යාග මුදල රුපියල් මිලියන 51ක් ලෙස වෙන් කර තිබෙනවා.

අද (27) පැවැති ප්‍රථම සැප්තැම්බර් මාසයට අදාළ මහා දිනුම් ඇදීමේදී, ගනුදෙනුකරුවන් ලක්ෂ 2.7කට අධික සංඛ්‍යාවක් (274,852) සහ වෙළඳුන් 230,000කට අධික සංඛ්‍යාවක් (231,703) අතරින් ජයග්‍රාහකයින් තෝරාගනු ලැබුවා.

මෙම දිනුම් ඇදීම වෙළෙඳ සහ පාරිභෝගික ලෙස කොටස් දෙකකට ජයග්‍රාහකයින් 6 දෙනෙකු තෝරා පත්කර ගනු ලැබුවා.

මෙහිදී ප්‍රථම ස්ථානයට රු,මිලියනයක මුදලක්ද, දෙවන ස්ථානයට රු.500000/= සහ තෙවන ස්ථානයට රු. 250000/= හිමි වනවා.

රජයේ මුදල් භාවිතයෙන් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන පූර්ණ විනිවිදභාවයකින් යුතුව පවත්වාගෙන යාම සඳහා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ විගණකාධිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරන විශේෂ දිනුම් ඇදීම් කමිටුවක් විසින් සියලු කටයුතු අධීක්ෂණය කර තිබෙනවා.

මෙම අවස්ථාව සඳහා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල , ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය , GovTech ප්‍රධාන විධායක නිලධාරී ෂෙවාන් ගුණතිලක , LankaPay නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරි දිනුක පෙරේරා ඇතුළු මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ විගණකාධිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් විශේෂ දිනුම් ඇදීම් කමිටු සාමාජිකයින් සහ මූල්‍ය ආයතනවල ප්‍රධානීන් රැසක් එක්ව සිටියා.