ඉන්දියාව සහ රුසියාව එක්ව නිපදවන බ්‍රහ්මෝස් මිසයිලවලට නව මුහුණුවරක්

ඉන්දියාව සහ රුසියාව එක්ව නිෂ්පාදනය කරන බ්‍රහ්මෝස් සුපර්සොනික් කෲස් මිසයිල පද්ධතියේ ප්‍රහාරක හැකියාව සහ ක්‍රියාකාරී දුර තවදුරටත් ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, නව මිසයිල මාදිලි හඳුන්වාදීම සහ දැනට භාවිතයේ පවතින මිසයිල පද්ධති නවීකරණය කිරීමේ කටයුතු වේගවත් කර ඇති බව, ඉන්දු-රුසියානු හවුල් ව්‍යාපාරයක් වන බ්‍රහ්මෝස් ඒරෝස්පේස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂ ජයිතීර්ත් ජෝෂි ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

භූමිය, මුහුද සහ ගුවන් යානා ඇතුළු විවිධ වේදිකාවලින් දියත් කළ හැකි බ්‍රහ්මෝස් මිසයිලය, ශබ්දයේ වේගය මෙන් තුන් ගුණයකට ආසන්න වේගයකින් ගමන් කළ හැකි අතර, කිලෝග්‍රෑම් 200ත් 300ත් අතර බරකින් යුත් යුධ ශීර්ෂයක් රැගෙන යා හැකියි.

පසුගිය වසරේ ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති වූ කෙටි කාලීන හමුදා ගැටුම්වලදී බ්‍රහ්මෝස් මිසයිල භාවිත කිරීමෙන් පසු ඒ සඳහා ජාත්‍යන්තර උනන්දුව ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.

එම ගැටුම් අතරතුර මිසයිල ගුවන් ආරක්ෂණ පද්ධතිය මගින් අල්ලාගැනීමට හෝ විනාශ කිරීමට කිසිදු අවස්ථාවක් වාර්තා නොවූ බව ඉන්දියාව ප්‍රකාශ කර තිබෙනවා.

බ්‍රහ්මෝස් සංවර්ධන වැඩසටහන යටතේ, දැනට පවතින මාදිලිවලට වඩා සැහැල්ලු සහ ගුවන් යානාවලින් දියත් කළ හැකි නව මාදිලියක් ද සංවර්ධනය කෙරෙමින් පවතී. ‘බ්‍රහ්මෝස් එන්.ජී.’ ලෙස නම් කර ඇති මෙම මාදිලිය ඉන්දියාවේ නිෂ්පාදිත ‘තේජස්’ සැහැල්ලු ප්‍රහාරක ගුවන් යානා ඇතුළු තවත් ගුවන් යානාවල භාවිතයට ගැළපෙන පරිදි සැලසුම් කර තිබෙනවා.

එහි මූලාකෘතිය 2027–2028 කාලසීමාවේදී එළිදැක්වීමට අපේක්ෂා කරන බව සමාගම පවසනවා.

මීට අමතරව, කිලෝමීටර් 1,500ක් දක්වා දුරක පිහිටි ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ හැකි දිගු දුර මිසයිල මාදිලියක් පිළිබඳව ද සංකල්පීය මට්ටමින් අධ්‍යයනය කෙරෙමින් පවතිනවා.

‘බ්‍රහ්මෝස් ටූ’ ලෙස හැඳින්වෙන අධිධ්වනි මිසයිලයක් සංවර්ධනය කිරීම ද සමාගමේ අනාගත සැලසුම් අතරට ඇතුළත්.

එය ශබ්දයේ වේගය මෙන් පස් ගුණයකට වැඩි වේගයක් ලබාගත හැකි තාක්ෂණයකින් සමන්විත කිරීමට අපේක්ෂා කරනවා.