පිටරට තියෙන කෞතුක භාණ්ඩ ගේන්න, විශේෂ කමිටුවක් පත්කෙරේ

එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානයේ (යුනෙස්කෝ) 1970 සංස්කෘතික දේපළවල නීති විරෝධි ආනයනය, අපනයනය සහ අයිතිය පැවරීම තහනම් කිරීම සහ වැළැක්වීම පිළිබඳ ප්‍රඥප්තියේ අංක 7 සහ 13 දරන වගන්ති අනුව කිසියම් රාජ්‍යකට අයත්, දැනට විදේශයන් සතුව පවතින සංස්කෘතික දේපළක් එය අයත් රාජ්‍යයට නැවත ලබා දෙන ලෙස ඉල්ලා සිටීමේ අයිතිවාසිකම් පවරා තිබෙනවා.

එවකට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුව ශ්‍රී ලාංකේය සංස්කෘතික උරුම ප්‍රතිෂ්ඨාපනය කිරීමේ 1 වන අදියර ලෙස 2023 වර්ෂයේදී නෙදර්ලන්තයේ ඇමස්ටර්ඩෑම් හි Rijksimuseumහි තිබූ ලෙව්වේ දිසාවගේ කාල තුවක්කුව, මහ තුවක්කු 02ක්, කොපු සහිත කස්තාන 02ක් සහ කොපු සහිත පිහියක් ඇතුළු කෞතුක භාණ්ඩ 06ක් ආපසු ශ්‍රී ලංකාවට නිල වශයෙන් භාර දෙනු ලැබුවා.

නෙදර්ලන්ත කමිටුව සමඟ කෞතුක භාණ්ඩ ප්‍රතිෂ්ඨාපනය කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව තවදුරටත් සෘජුව අදහස් හුවමාරු කර ගනු පිණිස සහ ශ්‍රී ලංකාවෙන් යටත් විජිත යුගයේ ගෙන යනු ලැබූ සංස්කෘතික දේපළ ප්‍රතිෂ්ඨාපන කටයුතු සඳහා ශ්‍රී ලංකා රජයට උපදෙස් ලබා දෙනු පිණිස මෙහෙයුම් කමිටුවක් පත් කිරීම වඩාත් යෝග්‍ය බව පෙනී ගොස් තිබෙනවා.

ඒ අනුව, ශ්‍රී ලංකාවෙන් රැගෙන ගිය කෞතුක භාණ්ඩ ප්‍රතිෂ්ඨාපන කටයුතු වලදී ශ්‍රී ලංකා රජයට අවශ්‍ය උපදෙස් ලබා දීම සඳහා ‘ විදේශයන් සතුව පවතින ශ්‍රී ලාංකේය සංස්කෘතික උරුම ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා කමිටුව’ නමින් බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්ගේ (සංස්කෘතික ප්‍රවර්ධන සහ විදේශ) ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීම පිණිස බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.