රටේ සිදුවිය යුත්තේ මිනිසා ඝාතනය කිරීම නොව මිනිසා ජීවත් කරවිම බවත් ප්‍රශ්න ගැටලු නිර්මාණය වන විට සාකච්ඡාවෙන් අර්බුධයෙන් අදහස් හුවමාරුවෙන් දියුණු ලෝකයේ දියුණු ආකාරයට සිතා ප්‍රශ්න නිරාකරණය කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ රත්මලාන කොතලාවලපුර ශ්‍රී විජිතාරාම විහාරස්ථානයේ ඉදිකෙරෙන රන්වැට සහිත බෝධි ප්‍රාකාරය සඳහා මුල්ගල තැබීමේ පුණ්‍යමහෝත්සවය හා එක්වෙමින්.
ශ්‍රී ලංකාවේ පන්සල් 14129ක්, දහම් පාසල් 10347ක්, පිරිවෙන් 824ක්, ශාසනාරක්ෂක බල මණ්ඩල කොට්ඨාස 327ක් ඇති බවත් මේ වන විට රටට අවශ්‍ය ප්‍රදර්ශන බෞද්ධකම නොව ප්‍රායෝගික බෞද්ධකම බවත් විපක්ෂ නායකවයරා මෙහිදී සඳහන් කළා.
පන්සල් පද්ධතිය දියුණු කර සම්බුද්ධ ශාසනයේ මුරදේවතාවුන් වන ත්‍රෛනිකායික මහා සංඝරත්නය ආරක්ෂා කර දහම් පාසල් පද්ධතිය දියුණු කර දහම් අධ්‍යාපනය ප්‍රචලිත කර දහමින් සපිරුණු පුරවැසිය පරපුර ශීලාචාර ශිෂ්ටසම්පන්න ප්‍රබුද්ධ ප්‍රශස්ත පුරවැසියන් කළ යුතු බවත් ඔහු මෙහිදී පැවසුවා.
නිදහස් නිවහල් රටක ශිෂ්ටසම්පන්න පුරවැසියා නිර්මාණය කරන්න දහම් පාසල ඉවහල් වන බවත් ගමේ නගරයේ පන්සල සෙසු ආගම් හා සංස්කෘතීන්ට අයිති ආගමික සිද්ධස්ථාන ද ශිෂ්ටසම්පන්න පුරවැසිය නිර්මාණය කරන්නට ඉවහල් වන නිසා මේ ආගමික සිද්ධස්ථාන ශක්තිමත් කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.













