පාසල් විද්‍යාගාරයේ කළ පරීක්ෂණ වැරදි සිසුවියන් 07ක් රෝහලේ

පාසල් විද්‍යාගාරයක විද්‍යා විෂය සඳහා නිර්දේශිත පරීක්ෂණයක් සිදු කරමින් සිටි ශිෂ්‍යාවන් පිරිසක් හදිසියේ එම පරීක්ෂණය පුපුරා යාමෙන් පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

මෙම සිදුවීම අද (09) දහවල් සිදු ව ඇත්තේ පානදුර නගරයේ ඇති ප්‍රසිද්ධ බාලිකා පාසලකයි.

මෙසේ රෝහල්ගත කර ඇත්තේ වයස අවුරුදු 12 සහ 13 වියැති සිසුවියන් බව ද වාර්තා වනවා.

පිෂ්ඨය පරීක්ෂා කිරීමේ පරීක්ෂණයක් සිදු කරන අතරතුර දී ඉන් නැගුණු ගිනි දැල්ලක් හේතුවෙන් මෙම පිළිස්සුම් තුවාල සිදු ව ඇති බවටයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

පාසල් සිසුවියන්ගේ මුහුණ, හිස, අත්වල පිළිස්සීම් සිදු ව ඇති බවත් ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව ද රෝහල් ප්‍රකාශ‍යෙකු පැවසූ බව දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා.