පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය ඇරඹෙද්දී ශ්‍රී ලංකාව තවත් ලකුණු 610ක් පසුපසින්

වෝර්න් – මුරලි ටෙස්ට් කුසලානයේ පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අද (31) යි.

පිළිතුරු ඉනිම සිය පළමු ඉනිමට ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (30) දිනය නිමාවන විට කඩුලු 03ක් බිඳ වැටී ලකුණු 44ක් ලබා සිටියා.

පළමු කඩුලු තුන ලෙස දැවී ගියේ ලකුණු 07 බැගින් ලබා සිටි ඕෂධ ප්‍රනාන්දු හා දිමුත් කරුණාරත්න සහ ලකුණු 09ක් අතැතිව සිටි ඇන්ජිලෝ මැතිව්ස්.

මෙම කඩුලු 03න් දෙකක් දඟ පන්දු යවන්නන් වන කුහ්නමන් සහ ලියෝන්ටත් එක් කඩුල්ලක් මිචෙල් ස්ටාක් හටත් හිමිවුණා.

තරගය ගාල්ලේ දී පැවැත්වෙන අතර කාසියේ වාසිය දිනා පළමු ව පන්දුවට පහර දුන් ඔස්ට්‍රෙලියා කණ්ඩායම වසර 30කට පසු විදෙස් බිමක දී සිය පළමු ඉනිම වෙනුවෙන් දැවැන්ත ලකුණු 654ක් ලබා සිටියදී ඉනිම අත්හිටවූවා.

එහිදී ක්‍රීඩකයින් තිදෙනෙකු ශතක තුනක් මෙන් ම ද්විත්ව ශතකයක් බැගින් ද ලබා ගැනීම කැපී පෙනුණා.

කවාජා ලකුණු 232ක්, ස්ටීවන් ස්මිත් ලකුණු 141ක් සහ ජෝෂ් ඉංග්ලිස් ලකුණු 102ක් ලබා ගත්තා.

ට්‍රවිස් හෙඩි ලකුණු 57ක් මෙන් ම ඇලෙක්ස් කේරි නොදැවී ලකුණු 46ක් ලබා ගනිමින් කැපී පෙනෙන දක්ෂතා පෙන්නුම් කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රෙලියානු පළමු ඉනිමට වඩා තවත් ලකුණු 610ක් පසුපසින් සිටිනවා.