spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති 23ක් අතරමග

නාගරික සංවර්ධන අධිකාරිය විසින් රජයේ මුදල් වියදම් කර ආරම්භ කර ඇති එහෙත් දැනට විවිධ හේතූන් නිසා අතහැර දමන ලද ව්‍යාපෘතීන් 23ක් පවතින බව අනාවරණ වී තිබෙනවා.

ඒ අතරින් ව්‍යාපෘති 11ක් ආයතන අතර පවතින ප්‍රශ්න හේතුවෙන් නැවතී ඇති ඒවා බවයි පරිසරය, ස්වාභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණය වූයේ.

මුදල් නොමැතිවීම නිසා නැවතී ඇති ව්‍යාපෘතිවලට අමතරව මෙම ව්‍යාපෘති නතර වීමට ප්‍රධාන හේතුව අදාළ ආයතන අතර මනා සහයෝගයක් හෝ එකඟතාවයක් නොමැතිවීම බවත් කාරක සභාව අවධාරණය කරනු ලැබුවා.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් රජයේ මුදල් වියදම් කර ආරම්භ කර ඇති එහෙත් දැනට විවිධ හේතූන් නිසා අතහැර දමන ලද ව්‍යාපෘතීන් පිළිබඳව සලකා බැලීම සහ එමඟින් ව්‍යාපෘතීන් ආරම්භ කිරීමේදී සහ පවත්වාගෙන යාමේදී අනුගමනය කරන ක්‍රමෝපායන්හි හෝ පවතින නීතිරීතිවල වෙනසක් සිදුකිරීම සම්බන්ධයෙන් අජිත් මාන්නප්පෙරුම මහතාගේ සභාපතීත්වයෙන් රැස් වු පරිසරය, ස්වාභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී විමසා බලනු ලැබුවා.

මේ අනුව දැනට ආයතන අතර පවතින ප්‍රශ්න හේතුවෙන් අතරමැද නවත්වා ඇති ව්‍යාපෘති 11ක් සඳහා රුපියල් මිලියන 56,388ක මුදලක් ඇස්තමේන්තුගත කර ඇති බවත්, නාගරික සංවර්ධන අධිකාරිය විසින් රුපියල් මිලියන 2,531ක් වැය කර තිබුණ ද, තවදුරටත් ගෙවීම සඳහා රුපියල් මිලියන 14,23ක හිඟ බිල්පත් පවතින බවත් මෙහිදී අනාවරණය වුණා. එසේම රුපියල් මිලියන 56,999ක මුදලක් ව්‍යාපෘතිවල වැඩ නිමකිරීම සඳහා තවදුරටත් අවශ්‍යව ඇති බවත් මෙහිදී හෙළි වී තිබෙනවා.

මෙම ව්‍යාපෘති අතර මුදල් නොමැතිවීම නිසා නැවතී ඇති ව්‍යාපෘතීන් මෙන්ම විවිධ ආයතන අතර පවතින නිරවුල් කරගත යුතු ආයතනික ප්‍රශ්න හේතුවෙන් නැවතී ඇති ව්‍යාපෘති පවතින බැවින්, මෙදින කාරක සභාව සිය අවධානය යොමු කරන ලද්දේ ආයතන අතර පවතින ගැටලු හේතුවෙන් අතරමඟ නැවතී ඇති ව්‍යාපෘති සම්බන්ධයෙනුයි.

මේ සඳහා නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළුව ලංකා විදුලිබල මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරිය, ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව ද කාරක සභාව හමුවට කැඳවා තිබුණා. ආයතන අතර පවතින ප්‍රශ්න හේතුවෙන් නැවතී ඇති ව්‍යාපෘති 11 අතුරින් කොට්ටාව සිට මාහේනවත්ත දක්වා නව පිවිසුම් මාර්ගය ඉදිකිරීම, අලව්ව නගර සංවර්ධනය (මාර්ග පුළුල් කිරීම), ගම්පහ අධිවේගී මාර්ගයෙන් යක්කල දෙසට පිවිසුම ඉදිකිරීම, ඉමදුව නගරය පුළුල් කිරීම, බේරුවානවත්ත, ඇහැළියගොඩ අඩු ආදායම්ලාභී නිවාස ඉදිකිරීම, හැටන් දුම්රියපොළ සංවර්ධනය සහ වැලිකඩ බන්ධනාගාරය ප්‍රතිස්ථාපනය සම්බන්ධයෙන් කාරක සභාව මෙදින සලකා බලා තිබෙනවා.

කොට්ටාව සිට මාහේනවත්ත දක්වා නව පිවිසුම් මාර්ගය ඉදිකිරීමේ ව්‍යාපෘතියේ කටයුතු මේ වන විට 98% පමණ නිමකර ඇති බවත්, ඉඩම් අහිමිවන පුද්ගලයින් සඳහා වෙනත් තැනක් යෝජනා කර ඇති බැවින් ඉඩම් පවරා ගැනීම සම්බන්ධයෙන් පවතින ගැටළුව බොහෝ දුරට විසදා ගෙන ඇති බවත්, හෝමාගම ප්‍රාදේශීය ලේකම් සමඟ දැනට ඇති ඉතිරි ගැටලු ද විසඳා ගැනීමෙන් පසු ව්‍යාපෘතිය නිමකිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරියට ලබාදිය හැකි බව නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් කාරක සභාව හමුවේ ප්‍රකාශ කළා.

ඇහැළියගොඩ නගරයෙහි සංවර්ධනය සඳහා ඉතාමත් වැදගත්වන එම නගරය හරහා යෑම වෙනුවට යෝජිත අතුරු මාර්ගය ඉදිකිරීමේදී ඉඩම් අහිමි වන පුද්ගලයින් නැවත පදිංචි කිරීම සඳහා සැලසුම් කරන ලද බේරුවානවත්ත, ඇහැළියගොඩ අඩු ආදායම්ලාභී නිවාස 34 ඉදිකිරීමේ කටයුතු එම නිවාස සඳහා විදුලිබලය සහ ජල සැපයුම ලබා ගැනීමේදී ඇති වු ප්‍රශ්න හේතුවෙන් දැනට නැවතී ඇති බව අනාවරණය වුණා. නිවාස දැනට සාදා නිමකර ඇති බවත්, විදුලිබල මණ්ඩලය සහ රත්නපුර දිස්ත්‍රික් ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව සමග පවතින පහසුකම් ලබාදීමේ ගැටළුද ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව සහ මාර්ග සංවර්ධන අධිකාරිය අතර පවතින ගැටළු ආයතන අතර සහයෝගීතාවෙන් විසඳා ගෙන ව්‍යාපෘතිය නිම කරන ලෙස කාරක සභාව උපදෙස් දී තිබෙනවා.

එසේම ගම්පහ මාකවිට නෙළුම්විල යෝජිත ශරීර සුවතා මංතීරු ව්‍යාපෘතියේ ඉඩම් පවරා ගැනීමේ කටයුතු නිම කර තිබුණද ව්‍යාපෘතිය අතරමඟ නැවතී ඇති බවයි කාරක සභාව හමුවේ අනාවරණය වූයේ. මේ සඳහා රුපියල් මිලියන 13ක් වියදම් කර ඇති බැවින් මෙම ඉඩම් කොටසෙහි නාගරික වන වගාවක් සිදුකර ලංකාවේ වන වගාව ඉහළ දැමීමේ ක්‍රියාවලියට උපයෝගී කර ගන්නා ලෙස කාරක සභාව උපදෙස් දෙනු ලැබුවා.

වැලිකඩ බන්ධනාගාරය ප්‍රතිස්ථාපනය යටතේ දැනට වැලිකඩ පවතින ඉඩමෙහි වටිනාකම රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවෙන් නිවැරදිව තක්සේරු කර පවතින ඉඩම බදු දීමෙන් හෝ ටෙන්ඩර් කැඳවා ඉඩම විකිණීමෙන් ලැබෙන මුදලින් හොරණ යෝජිත ඉඩමෙහි බන්ධනාගාරය වඩාත් ඉඩ පහසුකම් සහිතව අනුමත මිනුම් යටතේ ස්ථානගත කිරීමට කටයුතු කරන ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුවට සහ නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දී තිබෙනවා. මෙමඟින් අදාළ ව්‍යාපෘතිය සඳහා රජයේ මුදල් වැය නොකර ලැබෙන ආයෝජනය තුලින් වියදම පියවාගත හැකි බවයි කාරක සභාව අවධාරණය කළේ. එසේම වැලිකඩ බන්ධනාගාරය ප්‍රතිස්ථාපනය කිරීමෙන් රජය බලාපොරොත්තු වන්නේ වැඩි වටිනාකමින් යුතු වැලිකඩ ඉඩම වෙනත් ඵලදායී ආයෝජන කටයුත්තක් සඳහා යොදාගෙන එසේ ලැබෙන අධික මුදලින් වඩාත් ඉඩ පහසුකම් සහිතව බන්ධනාගාරය යළි ස්ථාපිත කිරීම බව ද කාරක සභාව අවධාරණය කරනු ලැබුවා.

සලකා බලන ලද කරුණු අනුව, ව්‍යාපෘති අතරමඟ නැවතීම සඳහා සම්බන්ධවන ආයතන අතර මනා සහයෝගයක් හෝ එකඟතාවයක් නොමැතිවීම ප්‍රධානම හේතුව බවයි කාරක සභාව අවධාරණය කළේ. එසේම පවතින සීමිත සම්පත් යටතේ ව්‍යාපෘති ආරම්භ කිරීමේදී සමාජීය, ආර්ථීක, පාරිසරික බලපෑම් සම්බන්ධයෙන් පුර්ව විශ්ලේෂණයක් සිදු කර වඩාත් වාසිදායක සහ වඩාත්ම වැදගත්වන ක්‍රමවේදය අනුගමනය කළ යුතු බව කාරක සභාවේ නිර්දේශය වුණා. කාරක සභාව දුන් උපදෙස් සහ මඟපෙන්වීම අනුව කටයුතු කර සලකා බලන ලද ව්‍යාපෘතිවල කටයුතු සම්බන්ධයෙන් වන ප්‍රගතිය සති 3ක් ඇතුළත කාරක සභාවට දැනුම් දෙන ලෙසටයි සහභාගී වූ නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?