spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීමට ගත යුතු පියවර ජනපති කියයි

ලෝකයේ ජෛව විවිධත්වය බහුලම ප්‍රදේශය ඝර්ම කලාපීය රටවල් වන බැවින් අනාගත දේශගුණික විපර්යාසයන්ට ශක්තිමත්ව මුහුණදීමට එම රටවල් කේන්ද්‍රකර ගනිමින් සුවිශේෂි වැඩපිළිවෙළක් දියත් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අනාගත දේශගුණික විපර්යාසයන්ට ශක්තිමත්ව මුහුණදීමට එමඟින් දැවැන්ත රුකුලක් ලැබෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ලෝකයට ආවේණික ශාඛ ප්‍රභේදයන්ගෙන් 80%ක් හා සමස්ත කොරල් සහ කඩොලාන වලින් 50%ක් පමණ පිහිටා ඇත්තේ ද ඝර්ම කලාපය තුළ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙම තත්ත්වය පසුබිම් කරගෙන දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීමේ ප්‍රයත්නයේ ශ්‍රී ලංකාව යෙදී සිටින බව ද ප්‍රකාශ කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ 03 වන “එක් තීරයක් – එක් මාවතක්” ජාත්‍යන්තර සමුළුවට සමගාමීව අද (18) පස්වරුවේ චීන ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී “ස්වභාවික සුසංයෝගය වෙනුවෙන් හරිත සේද මාවත” මැයෙන් පැවති ඉහළ පෙළේ සම්මන්ත්‍රණය අමතමින්.

මෙම සම්මන්ත්‍රණය චීන මහජන සමූහාණ්ඩුවේ උප ජනාධිපති හාන් ෂෙංග් (Han Zheng) මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටෙරෙස් (Antonio Guterres) මහතා සහ ඊට සහභාගී වූ අනෙකුත් රටවල රාජ්‍ය නායකයින්ද මෙහිදී අදහස් දක්වනු ලැබුවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්මන්ත්‍රණය අමතමින් වැඩිදුරටත් පැහැදිළි කළේ ලෝකය මුහුණ දෙන ප්‍රධාන භූගෝලීය ත්‍රිත්ව අර්බුදයන් සේ සැලකෙන දේශගුණික විපර්යාස, පරිසර දූෂණය සහ ජෛව විවිධත්ව විනාශය සම්බන්ධව කඩිනම් පියවර ගැනීමේ අරමුණ ඇතිව ඊට අදාළ පර්යේෂණ සිදු කිරීම හා ආරක්ෂණ පියවර ගැනීමට පසුබිම සැකසෙන දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කළ යුතු බවට තමන් යෝජනා කරන බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලය මඟින් ප්‍රධාන කරුණු 03ක් සාක්ෂාත් කර ගැනීමට අප අපේක්ෂා කරනවා. පළමුවැන්න අනුගමනය කළයුතු ආරක්ෂක සාමුහික යහ පියවර පිළිබඳ පර්යේෂණ කිරීමයි. දෙවැන්න දැනුම බෙදා හදා ගැනීමයි. තුන්වැන්න ප්‍රායෝගික අධ්‍යාපනයයි.

මෙම විශ්වවිද්‍යාලය මඟින් දේශගුණික වෙනස්වීම් අවම මට්ටමක පවත්වාගෙන යාම සඳහා තියුණු පර්යේෂණ, අදාළ නියෝජිත ආයතනයන්හි සිදු විය යුතු වෙනස්කම්, ජාත්‍යන්තර සහයෝගය, ප්‍රජා ක්‍රියාකාරකම් ආදී විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ගතහැකි පියවර පිළිබඳ සොයා බලනවා.

ඒ වගේම ගෝලීය උණුසුම සෙල්සියස් අංශක 1.5ක මට්ටමකට සීමා කර ගැනීම සඳහා අවශ්‍ය දැනුම, පර්යේෂණ සහ විසඳුම් ලබා දෙනවා. මෙම විශ්වවිද්‍යාලය දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටනේ ප්‍රමුඛ කාර්ය භාරයක් ඉටු කරනවා.

දේශගුණික විපර්යාසවලට එරෙහි සටනට ප්‍රධාන බාධාවක් වී ඇත්තේ ලෝකයේ බොහෝ රටවල් මුහුණ දෙන ආර්ථික අර්බුදයි. ඔවුන් මුහුණ දෙන අර්බුද නිසා දේශගුණික විපර්යාස අවම කර ගැනීමේ සටනට එක් වීම අතිශය අසීරු සහ සංකීර්ණ කාර්යයක් වී තිබෙනවා.

මුළු මහත් විශ්ව ප්‍රජාවම එකට එක් වී මෙම ප්‍රශ්නයට විසඳුම් සෙවීම වඩාත් යෝග්‍ය ක්‍රමවේදයයි. ඒ සම්බන්ධයෙන් මම යෝජනා 03ක් ඉදිරිපත් කිරීමට කැමතියි.

පළමුවැන්න අඩු ආදායම් ලබන රටවලට ණය සහන ලබාදීමයි. දෙවැන්න වැඩි ආදායම් රටවලට සහනදායී පදනම මත ණය ලබා ගැනීමේ අවකාශ සැලසීමයි. තුන්වැන්න ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව ඇතුළු වෙනත් බහුපාර්ශ්වීය සංවිධාන ඔස්සේ අමතර අරමුදල් සැපයීමයි.

මා මීට පෙර සඳහන් කළ ඝර්ම කලාපීය රටවල් 150ක් තිබෙනවා. එයින් 88ක්ම එක් තීරයක් – එක් මාවතක් වැඩපිළිවෙළේ පාර්ශ්වකරුවන් වනවා. මෙම ඝර්ම කලාපය මුළු ලෝකයේම භූමි ප්‍රමාණයෙන් 40%ක්. ඒ වගේම ලෝක ජනගහණයෙන් 40%ක් වෙසෙන්නෙත් මෙම කලාපයේයි.

එවන් පසුබිමක තිරසර සංවර්ධන ගමන් මගෙහි පාරිසරික අවශ්‍යතාව ප්‍රධාන අවශ්‍යතාවයක් ලෙස සලකා මෙවැනි සමුළුවක් සංවිධානය කිරීම පිළිබඳව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ප්‍රමුඛ චීන සමූහාණ්ඩුවට මගේ ස්තූතිය පළ කරනවා.

2021 වසරේ ආසියානු පැසිෆික් එක් තීරයක් – එක් මාවතක් ඉහළ පෙළේ සමුළුවේදීත් ශ්‍රී ලංකාව හරිත සේද මාවත වැඩපිළිවෙළට පූර්ණ සහාය ලබා දුන්නා. ඉදිරියටත් අප අපේ සහාය ලබා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?