දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ 06ක් එක්ව පිහිටුවා ගත් එකමුතුවේ නියෝජිතයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුවක් අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
මෙහිදී එම නියෝජිතයින් විසින් පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම, පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු, උතුරු සහ නැගෙනහිර පළාත්වල මෙන්ම මලෛයගම් ප්‍රජාව මුහුණ දී ඇති ඉඩම් ගැටලු පිළිබඳව කරුණු ඉදිරිපත් කරනු ලැබුවා.
පළාත් සභා මැතිවරණය පිළිබඳ මෙහිදී විශේෂ සාකච්ඡාවට ලක් වූ අතර, එම මැතිවරණය පැවැත්වීම සම්බන්ධව තේරීම්කාරක සභාවක් පත් කර තිබෙන බවත්, මතුව ඇති ගැටලු පිළිබඳ ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.
වත්මන් රජයේ මැතිවරණ ප්රකාශනයේ ඇතුළත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ යෝජනාව කෙරෙහි ද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර, ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ මහ ලේකම් එම්.ඒ. සුමන්තිරන් පෙන්වා දුන්නේ එම කාර්යය හදිසියේ කළ හැක්කක් නොවන බවත්, විවිධ ජන කොටස් අතර තිබෙන ගැටලු විසඳාගත හැකි සමාජ විමසුමක් ලෙස ඒ පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත් බවවයි.
එය 1972 සහ 1978 හඳුන්වා දුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් මෙන් එක් පාර්ශ්වයක් විසින් හඳුන්වා දෙනු ලබන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නොවිය යුතු බවද ඔහු සඳහන් කළා.
ඒ පිළිබඳ අදහස් දැක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු අතරම, විධායක ජනාධිපති ක්රමයද අහෝසි කළ යුතු බව රජයේ ස්ථාවරය බවයි.
එහෙත් මෙම අවස්ථාවේ කඩිමුඩියේ ගෙන එන ව්‍යවස්ථා සංශෝධනයකට වඩා අවශ්‍ය වන්නේ නව ජනතා සම්මුතියක් ඇති කර ගැනීම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් වූ කතිකාවක් ආරම්භ කිරීමේ වැදගත්කමද පෙන්වා දුන්නා.
විවිධ ජන ප්‍රජාවන් වෙන් වෙන්ව තමන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කරනවා වෙනුවට ශ්‍රී ලාංකිකයින් ලෙස එක්ව කටයුතු කරන රටක් ගොඩනැගීමේ පදනම වත්මන් රජය යටතේ මේ වන විට ස්ථාපිත වී ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා පසුගිය කාල සීමාව තුළ කිසිදු ජාතිවාදී ගැටුමක් රට තුළ ඇති නොවූ බවද පෙන්වා දුන්නා.
නිශ්චිතව පාර්ලිමේන්තුවට වග කියන පාලන ක්‍රමයක් සිය අපේක්ෂාව බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.
මලෛයගම් ප්‍රජාවගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා, වතු කම්කරුවන්ට සහ වතු කාර්ය මණ්ඩලයට පදිංචිය වෙනුවෙන් පර්චස් 10ක ඉඩම් කැබැල්ලක නීත්‍යානුකූල අයිතිය ලබාදීමේ රජයේ යෝජනාව පිළිබඳව මෙහිදී අදහස් දැක් වූ දෙමළ ප්රගතිශීලී සන්ධානයේ වී.රාධක්‍රිෂ්ණන් සඳහන් කළේ සමාගම්වල විරෝධතාව නිසා තම ආණ්ඩුවලින් ඉටු කරගත නොහැකි වූ එම කාර්යය වත්මන් ආණ්ඩුව යටතේ ඉටු වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
මධ්‍ය කඳුකරයේ කිසිදු ජනාවාසයක් නොමැති ප්‍රදේශවල පවා පුපුරායම් වාර්තා වී තිබෙන බවත්, ඒ අනුව එම ගැටලුවට විසඳුම් සෙවිය යුත්තේ මධ්‍ය කඳුකරයේ තිරසාර පැවැත්ම සහතික කරමින් බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් මේ වන විටත් වෙනම අධිකාරියක් පිහිටුවා ඇති බවත් සඳහන් කළා.
එම කටයුතු සමඟ මලෛයගම් ජනතාවගේ ගැටලු සඳහා ද විසඳුම් ලබාදීම රජයේ අපේක්ෂාව බව ජනාධිපතිවරයා පැවසුවා.
විවිධ වකවානුවල විවිධ අවශ්‍යතා අනුව වතු සමාගම් සමග ගිවිසුම්ගත වී ඇති බවත්, 2042 වසරට පෙර මෙම ගිවිසුම් අලුත් කළ යුතු බවත් වැඩිදුරටත් සඳහන් කළ ජනාධිපතිවරයා ඒ අනුව නුදුරේදීම සමාගම් සමඟ නව ගිවිසුම්වලට එළැඹීමට අපේක්ෂා කරන බවත්, මලෛයගම් ජනතාවට ඉඩමක නීත්‍යානුකූල අයිතිය ලබා දීම පිළිබඳ වගන්ති ඊට ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන බවත් සඳහන් කර සිටියා.
ඉන්දියානු ආධාර යටතේ මලෛයගම් ජනතාව වෙනුවෙන් ක්රියාත්මන නිවාස ව්‍යාපෘති පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර, එම ජනතාවට නිවසක හිමිකම ලැබුණද, ජල, විදුලි බිල්පත් ගෙවා ගැනීම ඇතුළු පහසුකම් සපයා ගැනීමේදී ඔවුන් ප්‍රායෝගික ගැටලු රැසකට මුහුණ දී සිටින බව ලංකා කම්කරු කොංග්‍රසයේ ජීවන් තොණ්ඩමන් පෙන්වා දුන්නා.
එම ජනතාවට ආර්ථික සහනයක් ලබා දීම වෙනුවෙන් තොණ්ඩමන් පදනම සහ නෙවීඩා පදනම ඒකාබද්ධ කර නව වැඩපිළිවෙළක් සකස් කිරීමට දැනටමත් යෝජනා කර ඇති බවත්, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය වෙනුවෙන් මෙම වසරේ වෙන් කළ ප්‍රතිපාදනවලට වඩා වැඩි ප්‍රතිපාදන ප්‍රමාණයක් 2027 අයවැයෙන් වෙන් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.
උතුරේ සහ මධ්‍යම කඳුකරයේ ඉඩම් ගැටලු විසඳීමට කටයුතු කරන බව මෙහිදී සඳහන් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක ජනතාවගේ ඉඩම් ජනතාවටම හිමි විය යුතුය යන්න රජයේ ස්ථාවරය බවත්, කොමිෂන් සභා පත් කිරීම ඇතුළු ඒ වෙනුවෙන් වූ සාධනීය පියවර රැසක් මේ වන විට ගෙන ඇති බවත් සඳහන් කර සිටියා.
එමෙන්ම, යුද්ධයෙන් නිවාස අහිමි වූ ජනතාවගේ දීර්ඝකාලීන ගැටලුවක් විසඳමින් එම ජනතාව වෙනුවෙන් අදියර දෙකක් යටතේ නිවාස 13,000ක් ඉදි කිරීමට 2027 සහ 2028 අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කරන බවද ජනාධිපතිවරයා පැවසුවා.
දිට්වා ආපදා තත්ත්වයෙන් නිවාස අහිමි වූ ජනතාවට නිවාස ඉදිකර දීමට කටයුතු කරන බවත්, එම නිවාස ඉදිකරන තුරු තාවකාලික නිවාස ඉදිකර දීමේ කටයුතු ආරම්භ කර ඇති බවත් සඳහන් කළ ජනාධිපතිවරයා එම කටයුතු අවසන් වන තෙක් එම ජනතාවට කුලි නිවාස දීමනාව ලබා දීමට පියවර ගෙන තිබෙන බවද සඳහන් කළා.
පළාත් සභා ඡන්ද ක්‍රමය සහ සීමා නිර්ණය කොමිසමේ කටයුතු පිළිබඳවද මෙහිදී මන්ත්‍රීවරු අදහස් දැක් වූ අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය ආදී ආයතන පැරණි ප්‍රතිපත්ති මත ක්‍රියාත්මක වීම නිසා උතුරේ සහ නැගෙනහිර ජනතාවට මුහුණ දීමට සිදුව ඇති ගැටලු පිළිබඳවද ජනාධිපතිවරයා දැනුවත් කරනු ලැබුවා.
මෙම සියලු කරුණුවලට සාවධානව ඇහුම්කන් දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක දෙමළ භාෂාව කතා කරන ජනතාවගේ ගැටලු සාකච්ඡා කිරීමට මෙවැනි එකමුතුවක් ගොඩනගා ගැනීම පිළිබඳ සියලු දෙනා වෙත ස්තූතිය පළ කළා.
එමෙන්ම සමාජය තුළ දුරවබෝධයක් ඇති නොවන ලෙස පොදුවේ මහජන ගැටලු පිළිබඳ අවධානය යොමු කරන ලෙසද ජනාධිපතිවරයා එම නියෝජිතයන් හමුවේ යෝජනා කළා.













