spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දප්පුල ද ලිවේරා අත්අඩංගුවට නොගන්නා බවට ප්‍රතිඥාවක්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරනු ලැබූ ප්‍රකාශයකට අදාළව හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා අත්අඩංගුවට ගැනීමක් නොකරන බව නීතිපතිවරයා අද අභියාචනාධිකරණයට ප්‍රතිඥාවක් ලබා දී තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම සහ ප්‍රශ්න කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද කැඳවනු ලැබු අවස්ථාවේදී යි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා මෙම ප්‍රතිඥාව ලබා දුන්නේ.

අදාළ පෙත්සම සෝභිත රාජකරුණා සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු නීතිපතිවරයා සිදුකල ප්‍රකාශයක් ජනමාධ්‍ය ඔස්සේ පුළුල් ලෙස ප්‍රචාරය වී තිබූ බවයි.

එම ප්‍රකාශය පදනම් කරගෙන මහජන නොසන්සුන්තාවයක් හටගත් බවත් විමර්ශන නිසියාකාරව සිදු නොකරන බවට පොලිසියට චෝදනා එල්ල වන්නට පටන් ගත් බවත් ඔහු සඳහන් කළා.

එබැවින් අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර ගැනීම සඳහා හිටපු නීතිපතිවරයාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගැනීමට පොලිසිය උත්සාහ කළ බවයි අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා කියාසිටියේ.

මෙහිදී හිටපු නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේ පාස්කු ප්‍රහාරය පිටුපස කුමන්ත්‍රණයක් පැවතිය හැකි බවට තම සේවාදායකයා ප්‍රකාශයක් සිදු කළේ නීතිපතිවරයා වශයෙන් කටයුතු කරමින් බවයි.

නීතිපති නිලයේ සිටි මින් සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට පොලිසියට හැකියාවක් නොමැති බවත් ඒ තුළින් නීතිපතිවරයාගේ වරප්‍රසාද උල්ලංඝනය වන බවත් ජනාධිපති නීතිඥවරයා තර්ක කළා.

මෙම අවස්ථාවේදී අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටි ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියාසිටියේ හිටපු නීතිපතිවරයා අත්අඩංගුවට ගැනීමක් නොකරන බවට සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් තම සේවා දායකයා සතුටට පත්වන බවයි.

කෙසේවෙතත් මෙම නඩුවට පාදක වන කරුණු දෙපාර්ශවය අතර අදහස් හුවමාරුවකින් නිරාකරණය කරගැනීම සුදුසු බව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පෙන්වා දෙනු ලැබුවා.

ඉන් අනතුරුව පෙත්සම සැප්තැම්බර් මස 12 වන දා යළි කැඳවන ලෙස අධිකරණය නියෝග කළා.

ඊට අමතරව හිටපු නීතිපතිවරයාගෙන් ප්‍රශ්න කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය එදින තෙක් දීර්ඝ කරන බවත් නියෝගයේ සඳහන් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
4
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?