තවමත් කෙළවරක් නැති චීන පොහොර ගනුදෙනුව

රටට කාබනික ගොවිතැනට යොමු කිරීමේ රජයේ ප්‍රතිපත්තිය අනුව එවකට පැවති ආණ්ඩුව 2021 මැයි මාසයේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි රසායනික පොහොර ආනයනය තහනම් කරනු ලැබුවා.

හදිසියේ ගත් එම තීරණය හමුවේ 2021/2022 මහ කන්නයට අවශ්‍ය තරම් කාබනික පොහොර රට තුළ නොමැති වීම හේතුවෙන්‍ වී වගාවට අවශ්‍ය කාබනික පොහොර ආනයනය කිරීමටයි තීරණය කෙරුණේ.

කඩිනම් ප්‍රසම්පාදන ක්‍රමවේදයක් හරහා කාබනික පොහොර ආනයනය සඳහා තෝරා ගනු ලැබුවේ චීනයේ සීමාසහිත කින්ඩාඕ සීවීන් බයෝටෙක් සමූහ සමාගමයි.

ගනුදෙනුව වූයේ කාබනික පොහොර මෙට්‍රික් ටොන් 96,000ක් මෙට්‍රික් ටොන් 1ක් ඇමෙරිකානු ඩොලර් 446ක මිලකට මෙරටට සැපයීමයි.

පළමු පොහොර තොගය ශාක ආරක්ෂණ පනතට අනුව ජීවාණුහරණය නොකළ අර්වීනියා සහ බැසිලස් නැමති අහිතකර බැක්ටීරියා සහිත වීම හේතුවෙන් රට තුළට ගැනීමට අවසර නොලද අතර, පොහොර තොගයෙන් සියයට 75කට අදාළ මුදල වන ඇමෙරිකානු ඩොලර් මිලියන 6.9ක් අත්තිකාරමක් ලෙස ගෙවීමටත් පොහොර තොග නිසි ප්‍රමිතියෙන් යුක්තව නැවත ලබාදීමටත් දෙපාර්ශ්වය එකඟ වුණා.

නමුත් ශ්‍රී ලංකා පාර්ශ්වය අත්තිකාරම් මුදල ගෙවීම සිදුකළ ද චීන පාර්ශ්වය අද දක්වාම කිසිදු පොහොර තොගයක් සපයා නැහැ.

මේ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා 2022 වසරේදී විශේෂ විගණන වාර්තාවක් සකස් කරමින් නිර්දේශ කර තිබුණ ද මේ දක්වා එම නිර්දේශ ක්‍රියාත්මක නොකළේ ඇයි දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළා.

විගණකාධිපතිවරයාගේ නිර්දේශ වූයේ,

1.රජයට සිදු වූ පාඩුව මෙම ගනුදෙනුවට සම්බන්ධ වගකිව යුත්තන්ට එරෙහිව නඩු පවරයා අය කර ගැනීම
2.අර්වීනියා හා බැසිලස් නැමති විනාශකාරී බැක්ටීරියා සහිත පොහොර තොගයක් රට තුළට ඇතුලු කිරීමට උත්සාහ කිරීම, මහ කන්නයේදී වී වගාවට අවශ්‍ය පොහොර ගිවිසුම් ප්‍රකාරව ලබානොදී පාඩුවක් සිදු කිරීම, නොසැපයූ පොහොර තොගයක් වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 6.9ක මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් සැපයුම්කරුගෙන් වන්දියක් අය කර ගැනීම
3.සැපයුම්කාර සමාගම ශ්‍රී ලංකාව තුළ අසාදු ලේඛනගත කිරීමයි.

පාර්ලිමේන්තුවේදී විපක්ෂනායකවරයාට පිළිතුරු දෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ විගණන වාර්තාවේ නිශ්චිතව නම් සඳහන් නොවන බැවින් ඔවුන් හඳුනා ගැනීමට විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර එහි නිර්දේශ අනුව නඩු පැවරීමට ක්‍රියා කරන බවයි.

එමෙන්ම විදේශ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඇති කමිටුවක් රාජ්‍යයන් අතර ගැටලුවක් ඇති නොවන ආකාරයට ගැටලුව විසඳා ගැනීමට සාකච්ඡා කරන බවද අමරවීර අමාත්‍යවරයා පැවසුවා.

අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන් පරිදි පැහැදිලි වන්නේ ගණනය නොකළ තරම් පාඩුවක් සිදුකළ මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් දෙවසරක් ගත වී ඇතත් මෙරටට වාසිදායක කිසිදු විසඳුමක් ලැබී නොමැති බවයි.

විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණයන් අනුව චීනයේ සීමාසහිත කින්ඩාඕ සීවීන් බයෝටෙක් සමූහ සමාගම රජයට ඇමෙරිකානු ඩොලර් මිලියන 6.9ක ගණනය කළ හැකි පාඩුවක් සහ ගණනය කර නොමැති ඊටත් වඩා අති විශාල පාඩුවක් සිදුව තිබෙනවා.

එමෙන්ම සැපයුම්කරු වන අදාල චීන සමාගම මෙම ගනුදෙනුවේ දී සිදුකර ඇති විෂමාචාර රැසක්ම විගණකාධිපතිවරයා නිරීක්ෂණය කර තිබෙනවා.

ආනයන බලපත්‍රයක් නොමැතිව ශ්‍රී ලංකාවට මෙම පොහොර තොගය ආනයනය කළ නොහැකි බවත්, ජාතික ශාක නිරෝධායන සේවයේ පරික්ෂාවන්ට අනුව සිය නියැදි අසමත් බවත් දැන දැනම චීන සමාගම 2021 සැප්තැම්බර් 23 වන දින නැව් ගතකර පිටත් කර හැරීමට කටයුතු කර තිබුණු බව නාවික උපදෙස් පත්‍රිකාව මගින් පොහොර සමාගමේ සභාපතිවරයාට දැනුම් දී තිබෙනවා.

සැප්තැම්බර් 23 වැනි දින චීනයේ කින්ඩාඕ වරායෙන් පිටත් වූ බව නෞහාර පතෙහි සඳහන් වී ඇතත් චන්ද්‍රිකා තාක්ෂණ දත්තයන්ට අනුව සැප්තැම්බර් 22 වැනිදා නැව පිටත් වී ඇති බව තහවුරු වීම හේතුවෙන් නෞහාරපතට සාවද්‍ය තොරතුරු ඇතුළත් කර ඇති බව විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණයයි.

එමෙන්ම නිෂ්කාශන නියෝජිතයෙකු පත් කර නොතිබීම හේතුවෙන් නැවෙහි පොහොර තොගයක් තිබුණු බව සහ එය ශ්‍රී ලංකාවට ගොඩබෑමේ සැලසුමක් තිබුණු බව නිරීක්ෂණය නොවුණු බව විගණකාධිපතිවරයා සඳහන් කරනවා.

ඒ, අනුව චීන සමාගම හිස් නැවක් මෙරටට එවා අත්තිකාරම් මුදල් ලබා ගත්තේ දැයි යන ප්‍රශ්නය ඉතිරි වන අතර අත්තිකාරම් ගෙවීමට පෙර නෞකාවේ පොහොර තොගය තිබේද යන්න භෞතිකව පරික්ෂා කර තහවුරු කර ගෙන නැතැයි ද විගණනයේදී අනාවරණය වී තිබෙනවා.

ණයවර ලිපි විවෘත කිරීමට පෙර නැවට භාණ්ඩ පටවා ඇති බව විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණයයි.

අවම වශයෙන් චීන රජයෙන් ලබාදෙන ශාක ස්වස්ථතා සහතිකය (Phytosanitary Certificate) නාවික ලියවිලි සමග බැංකුව වෙත ලබා දී නැහැ.

හාස්‍යයට කරුණ නම් චීන රජය විසින් ලබා දිය යුතු ප්‍රභවස්ථාන සහතිකය (Certificate of Origin) කින්ඩාඕ සමාගමේ ලිපි ශීර්ෂයක් යටතේ එම සමාගම විසින්ම ලබා දී තිබීමයි.

විගණාකාධිපතිවරයා පවසන්නේ මේ තත්ත්වය තුළ ගනුදෙනුවට අදාළ අත්‍යවශ්‍ය වැදගත් නාවුක ලියවිලි පිළිගත නොහැකි තත්ත්වයක පැවති බවයි.

නාවුක ගමන අතරතුර නැවෙහි නම මාරු කර තිබීම, චන්ද්‍රිකා දත්ත ලබාගත නොහැකි වන අයුරින් IMO පද්ධතිය (International Monitoring System) ක්‍රියාවිරහිත කර තිබීම, කොළඹ වරායට සේන්දු වූ බව නැව්පති විසින් කොළඹ වරාය වෙත විධිමත්ව NOA (Note of Arrival) මගින් දැනුම් දී නොතිබීම, නැව සිංගප්පූරුව සහ අප්‍රිකාව දෙසට ගමන් කර තිබීම වැනි මතභේදයට හා සැකයට තුඩු දෙන ක්‍රියාවන් නිරීක්ෂණය වී තිබෙනවා.

පසුගියදා මහත් ආන්දෝලනයට තුඩු දුන් අක්ෂි සැත්කම් සඳහා භාවිත කරන ඖෂධයක එක් කාණ්ඩයක හඳුනාගත් දෝෂයක් මත වසර ගණනාවක් පුරා මෙරටට එම ඖෂධය නිසි ප්‍රමිතියෙන් සැපයූ අදාළ සමාගම වහාම ක්‍රියාත්මක වන පරිදි අසාදු ලේඛනගත කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගත්තා.

එසේ නම් නිසි කලට පොහොර සැපයීමට අපොහොසත් වීමෙන මෙරට ජන ජීවිතයේ හා ආර්ථිකයේ කොඳු නාරටිය බඳු වූ වී වගාවට මෙතරම් හානියක් කළ හා විනාශකාරී ක්ෂුද්‍ර ජීවින් අන්තර්ගත ජීවානුහරණය නොකළ පොහොර සැපයීමට උත්සාහ කිරීමෙන් මෙරට සමස්ත කෘෂිකාර්මික දිවිපෙතට ආපසු හැරවිය නොහැකි බරපතල හානියක් සිදු කිරීමට තැත් කළ සමාගම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යංශය තවදුරටත් කමිටු පත් කරමින් කල්මරන්නේ ඇයි දැයි යන්න බරපතල ප්‍රශ්නාර්ථයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෑම පැයේදී විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පැවැත්වූ විරෝධතාව - උගතුන් විශ්වවිද්‍යාල පද්ධතියෙන් යනවා
06:43
Video thumbnail
සජිත් ශ්‍රේෂ්ඨාධිකරණයට එයි
01:27
Video thumbnail
විපක්ෂය නියෝජනය කරන අය දුම්රිය සේවකයන් නොමඟ යවනවා - බොරු ප්‍රකාශ කරනවා
05:16
Video thumbnail
හිටපු නගරාධිපති එරාජ් එළොව ගිය ස්ථානයේ නවතම තත්ත්වය - ඔබ නොදුටු දර්ශන පෙළක්
01:30
Video thumbnail
වන අලින් දුම්රියේ ගැටීම වැළැක්වීමට තාක්ෂණික විසඳුමක්
00:49
Video thumbnail
ආණ්ඩුව නාමල්ට බයයි - අපේ රැළිය කාටත් නවත්වන්න බෑ
07:43
Video thumbnail
ජනාධිපතිතුමා ආයේ බොරු ටිකක් කියන්න තමයි රැස්වීම් තියන්න හදන්නේ
04:07
Video thumbnail
මනුෂ්‍ය ඝා#නයකට සැරසුණු සැකරුවන් තිදෙනෙකු සමඟ යතුරුපැදි කොටුවෙයි
00:59
Video thumbnail
අභිරහස් අයුරින් එළොව ගිය හිටපු නගරාධිපති එරාජ්ගේ සිරුර සොයාගැනේ
00:54
Video thumbnail
අපි එනවා කොටුවට - හොරු ඇල්ලුවාට කමක් නෑ, විපක්ෂය මර්දනය කරන්න එපා
03:44