හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඇතුළු පිරිසකට එරෙහිව අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ල පිළිබඳ වැඩිදුර විභාගය හෙට (13) දින දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියම කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇතුළු හය දෙනෙකුට එරෙහිව කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල අද දෙවන දිනටත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය, චමත් මොරායස් සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ දී අභියාචනාධිකරණයේදී සලකා බැලීම සිදුකළා.
එහිදී වගඋත්තරකාර විමල් වීරවංශ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතා විසින් කරුණු ඉදිරිපත් කිරීම සිදු කිරීමේදී, වීඩියෝ දර්ශන පදනම් කරගෙන තම සේවාදායකයාට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන බවටත්, එම වීඩියෝ දර්ශනවල අන්තර්ගත කරුණු වැරදි ලෙස අර්ථකථනය කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහෙස්ත්‍රාත්වරයා වෙත කරුණු දක්වා තිබුණු බවටත් චෝදනා කළා. ඒ වගේම රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ රඳවා ගැනීම සදහා නිකුත් කළ රැඳවුම් නියෝගය පිළිබඳව පමණක් තම සේවාදායකයා කරුණු දක්වා තිබෙන බවටත්, අධිකරණය ගැන ඔහු වචනයක් වත් සඳහන් කර නොමැති බවටත් නීතිඥවරයා තර්ක කළා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය නොමග යවා අධිකරණ බලය අවභාවිතයට ලක්කර තිබෙන බවටත්, ඒ තුළින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට අපහාස කර තිබෙන බවටත් ඔහු වැඩිදුරටත් චෝදනා කළා.
අනතුරුව ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩගේ වැඩිදුර කරුණු දැක්වීම් හෙට දිනට කල් තැබුණු අතර එම කරුණු දැක්වීම් අවසානයේ හෙට දිනයේ නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර ද කරුණු දැක්වීමට නියමිත බවටත් වාර්තාවෙනවා.
