විදුලි වාහන සහ ඒවායේ බැටරි තාක්ෂණය සඳහා අවශ්‍ය නියාමන හා ප්‍රමිති හඳුන්වාදීම, රාජ්‍ය පර්යේෂණ ආයතනවල කාර්යසාධනය ඉහළ නැංවීම සහ නවෝත්පාදන වාණිජකරණය කිරීම ඇතුළු කරුණු පිළිබඳව විද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධානය යොමු වී තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජනක සේනාරත්නගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස් වු කාරක සභාවේදී 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාව, 2023 වර්ෂය සඳහා ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව, 2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ වාර්ෂික වාර්තාව සහ 2025 වර්ෂය සඳහා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව සලකා බැලුවා.
මෙහිදී ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය (NERDC) සතු විදුලි වාහන සහ බැටරි පරීක්ෂණ පහසුකම් පිළිබඳව සාකච්ඡා වූ අතර, බැටරිවල ධාරිතාව, කල්පැවැත්ම සහ ආයු කාලය ඇතුළු පරාමිතීන් ගණනාවක් පරීක්ෂා කිරීමේ හැකියාව එම ආයතනය සතු බව අනාවරණය වුණා. එහෙත් මෙරටට ආනයනය කරන විදුලි වාහන, බැටරි, පාලක (Controllers) සහ ආරෝපණ මධ්‍යස්ථාන සඳහා අනිවාර්ය නියාමන හා ප්‍රමිති නොමැතිවීම හේතුවෙන් මතුව ඇති ගැටලු පිළිබඳව ද අවධානය යොමු කෙරුණා. ඒ අනුව අදාළ ප්‍රමිති සකස් කර ඒවා පරීක්ෂා කිරීම සහ සහතික කිරීම අනිවාර්ය කිරීමේ අවශ්‍යතාව නිලධාරීහු කාරක සභාවට අවධාරණය කළා.
සාම්ප්‍රදායික වාහන විදුලි වාහන බවට පරිවර්තනය කිරීමේ තාක්ෂණය, පුහුණු වැඩසටහන් සහ එම වාහනවල ආරක්ෂාවට අදාළ ප්‍රමිති හා නියාමන ක්‍රමවේද සකස් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වුණා.
පර්යේෂණ හා සංවර්ධන ආයතනවල පවතින මානවසම්පත් හිඟය සහ සුදුසුකම් ලත් ඉංජිනේරුවන් හා පර්යේෂකයන් රඳවා ගැනීම සඳහා සුදුසු වැටුප් හා දීමනා ක්රමවේදයක අවශ්‍යතාව පිළිබඳව මෙහිදී අවධානය යොමු වූ අතර රාජ්‍ය පර්යේෂණ ආයතනවල කාර්යසාධනය ඉහළ නැංවීම, පවතින අඩුපාඩු අවම කිරීම, පර්යේෂණ ප්‍රතිඵල ඵලදායීව කළමනාකරණය කිරීම සහ සමාන කාර්යයන් සිදු කරන ආයතන එකබද්ධ කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද නිලධාරීහු කාරක සභාවේ අවධානයට යොමු කළා.
ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ වන අලි තර්ජනය අවම කිරීමේ විදුලි වැට ව්‍යාපෘති, විශ්වවිද්‍යාල ආශ්රිත ඉන්කියුබේෂන් මධ්‍යස්ථාන සහ ඩිජිටල් වේදිකා ඔස්සේ නවෝත්පාදන ප්‍රවර්ධනය කිරීමේ සැලසුම් පිළිබඳව ද එහිදී සාකච්ඡා වුණා. ක්‍රියාත්මක කළ විදුලි වැට ව්‍යාපෘති හතරෙන් තුනක් සාර්ථකව පවතින බව ද නිලධාරීන් විසින් කාරක සභාවට දන්වා සිටියා.
තවද, නව නිපැයුම්කරුවන්ගේ බුද්ධිමය දේපළ ආරක්ෂා කිරීම සහ නව නිපැයුම් වාණිජකරණය කඩිනම් කිරීම සඳහා ‘පෙටි පේටන්ට්’ (Petty Patents) ක්‍රමවේදය හඳුන්වාදීම වෙනුවෙන් බුද්ධිමය දේපළ පනත සංශෝධනය කිරීමේ යෝජනාව පිළිබඳව ද සාකච්ජා කෙරුණා.
මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලසිත් භාෂණ ගමගේ, චතුර ගලප්පත්ති, තනුර දියානායක, නීතිඥ හසාරා ලියනගේ සහ චන්දිම හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුළු විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියා.
