පාකිස්ථානය සමඟ තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය පාරජයකින් අරඹන්නට ශ්රී ලංකා කණ්ඩායමට ඊයේ (09) සිදු වුණා.
ඒ, දෙරට අතර රාවල්පින්ඩි හිදී පැවති පළමු තරගය කඩුලු හතරකින් ජයගන්නට පාකිස්ථානය සමත්වීමත් සමඟයි.
මෙම තරගයේ ශ්රී ලංකාවෙන් ලැබුණු 183ක ඉලක්කය පහසුවෙන් හඹා ගිය පාකිස්ථාන පිතිකරුවන් පන්දුවාර 18යි පන්දු 05ක් තුළ කඩුලු 06ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර යමින් තරගය ජයගත්තා.
මෙම තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ශ්රී ලංකා නායක කුසල් මෙන්ඩිස් සමත් වූ අතර ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.
මේ අතර පාකිස්ථානයට එරෙහිව කාසියේ වාසිය දිනා ගැනීමෙන් පසු පළමුව පන්දුවට පහරදීමට ශ්රී ලංකාව ගත් තීරණය පිළිබඳව ක්රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ ප්රශ්න කරනවා.
සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් රොෂාන් අබේසිංහ පවසන්නේ රාවල්පින්ඩි හිදී මීට පෙර පැවති තරග 16න් 10ක්ම ජයගෙන ඇත්තේ ලකුණු හඹා ගිය (දෙවනුවට පන්දුවට පහර දුන්) කණ්ඩායම බවයි.
එමෙන්ම රාත්රියේ පවතින පිනි තත්ත්වය ද පිතිකරුවන්ට වාසිදායක ලෙස බලපාන සාධකයක් බවත් ඔහු පෙන්වා දෙනවා.
කෙසේ වෙතත් තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය මේ වනවිට තරග එකට බින්දුවක් ලෙස පාකිස්ථානය පෙරමුණ ගෙන සිටිනවා.
දෙරට අතර දෙවන තරගය හෙට (11) රාවල්පින්ඩි ක්රීඩාංගනයේදීම පැවැත්වීමට නියමිතයි.
