නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ඉදිකරන ලද (Harbour View Residensies) නිවාස ව්‍යාපෘතියේ නිවාස ඒකක 350ක් ශ්‍රී ලංකා පොලිසිය වෙත මිලදී ගැනීමට සිදුකළ යෝජනාව සඳහා අනුමැතිය ලැබී තිබෙනවා.
ඒ, අනුව අදාළ නිවාස ඒකක 350ක් මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය, නාගරික සංවර්ධන අධිකාරිය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම ඊයේ (09) සිදු කෙරුණා.
ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ ලේකම් රවී සෙනවිරත්න ද නාගරික සංවර්ධන අධිකාරිය වෙනුවෙන් එහි සභාපති එම්.ජී. හේමචන්ද්‍ර ද මෙම අවබෝධතා ගිවිසුම සඳහා අත්සන් තබනු ලැබුවා.
මෙම අවස්ථාව සඳහා පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය, නාගරික සංවර්ධන අධිකාරිය නියෝජනය කරමින් නිවාස අධ්යක්ෂ එම්. එච්.වී. ආර්. කුමාර්, නීති අංශ අධ්‍යක්ෂිකා ඩී.එම්. කිරිවත්තුඩුව සහ නීති නිලධාරී හසිත් සුබසිංහ
ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් ද සහභාගීව සිටියා.
මෙම නිවාස ඒකක 350 තුළ නිවාස 452 කින් යුක්ත වන අතර, එය මහල් 14 කින් යුත් නිවාස ව්‍යාපෘතියක්.
බස්නාහිර පළාතේ කොළඹ හා තදාසන්න ප්‍රදේශයන්හි රාජකාරි නියුතු පරීක්ෂක ශ්‍රේණියේ සහ කණිෂ්ඨ ශ්‍රේණියේ නිලධාරීන්ගේ සුබසාධනය මෙන්ම කාර්යක්ෂම, ගුණාත්මක හා තෘප්තිමත් සේවාවක් ලබාගැනීමේ අරමුණින් ඔවුන්ට පවතින නිල නිවාස ඌණතාවයට පිළියමක් ලෙස මෙම නිවාස ව්‍යාපෘතියෙන් නිවාස ඒකක මිලදී ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා.
