ජාත්‍යන්තර පාසලක ගසක් කඩා වැටීමෙන් තුවාල ලැබු දරුවාත් මියයයි

පසුගියදා ගම්පොළ ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක ගසක් කඩා වැටීමෙන් කුඩා දරුවෙකු මියගිය අතර එම අනතුරෙන් තුවාල ලබා මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දරුවා ද අද පස්වරුවේ මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ ගම්පොළ බැබිල ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් ඉක්රාම් හයියාන් නැමති පස් හැවිදි දරුවායි.

දරුවන් දෙදෙනෙකුගෙන් යුත් පවුලක මෙම දරුවා බාලයාය.

ඔහු ගම්පොළ බෙන්හිල් ජාත්‍යන්තර පෙර පාසලේ ඉගෙනුම ලබන අතර පසුගිය හය දින මොවුන් එළිමහනේ සෙල්ලම් කරමින් සිටියදී අසල තිබූ ගසක් එම සෙල්ලම් මිදුලට කඩා වැටීමෙන් එම ගසට ළමුන් තිදෙනෙකු යටවී රෝහල් ගත කරන ලදී.

එයින් එක් දරුවකු එදිනම මිය ගිය අතර මෙම දරුවා මහනුවර මහ රෝහල වෙත යවා දැඩි සත්කාර ඒකකයේ දින හතරක් පුරා ප්‍රතිකාර ගනිමින් සිටියදී අද මෙසේ මියගියේය.

මහනුවර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එස්.බී. ඉලුක්කුර මහතා පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා හිසට හා මොළයට සිදුවූ හානි නිසා මෙම මරණය සිදුවූ බව සඳහන් කර තිබුණි.

මීට පෙර මියගිය ගම්පොළ ඉල්ල වතුර පදිංචි මොහොමඩ් අස්වී ද මියගොස් තිබුණේ මොළයට හා හිසට හානි වීමෙනි.

හයියාන් දරුවාගේ දේහය නිවසට රැගෙන ඒමෙන් පසු රාත්‍රියේම එය මිහිදන් කිරීමට පියවර ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඇත්ගාල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ගසක් කඩා වැටී දරුවෙක් මිය ගිය ජාත්‍යන්තර පාසලේ විදුහල්පති හැංගිලා