වැලිකඩ, මැගසින් සහ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරවල රැඳවියන් අතර සරම්ප රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවට වාර්තා ලැබී ඇතැයි සඳහන් කරමින්, එම තත්ත්වය පාලනය කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
අද (10) දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යොමු කළ ලිපියක් මඟින් එම කමිටුව අවධාරණය කර ඇත්තේ බන්ධනාගාර තුළ වාර්තා වන මෙම රෝග ව්‍යාප්තිය හේතුවෙන් අධිකරණ කටයුතුවලටද බාධා එල්ල වෙමින් පවතින බවයි.
බන්ධනාගාරවල පවතින අධික තදබදය, ප්‍රමාණවත් සෞඛ්‍ය පහසුකම් නොමැතිවීම සහ රැඳවියන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර නිසි වේලාවට ලබාගැනීමේ දුෂ්කරතා හේතුවෙන් මෙවැනි බෝවන රෝග ව්‍යාප්ත වීමේ අවදානම තවදුරටත් ඉහළ යා හැකි බව එම සංවිධානය පෙන්වා දෙනවා.
2022 ජාතික විගණන වාර්තාවේ සඳහන් කරුණුද උපුටා දක්වමින්, බන්ධනාගාර රැඳවියන්ට ලබාදෙන වෛද්‍ය සේවාවල පවතින අඩුපාඩු පිළිබඳව එම කමිටුව අවධානය යොමු කර තිබෙනවා.
අදාළ වාර්තාව අනුව බන්ධනාගාර වෛද්‍ය නිලධාරීන්ගේ සේවා කාලය හා සැබෑ සේවා සැපයීම අතර සැලකිය යුතු වෙනස්කම් පවතින බවත්, රැඳවියන්ට ලබාදිය යුතු වෛද්‍ය සේවාවන් ප්‍රමාණවත් පරිදි නොලැබීම සම්බන්ධයෙන් ගැටලු මතුව ඇති බවත් එම ලිපියෙන් පෙන්වා දී තිබෙනවා.
මෙවැනි තත්ත්වයන් හේතුවෙන් බන්ධනාගාර තුළ රැඳවියන්ගේ සෞඛ්‍ය ආරක්ෂාවට තර්ජන එල්ල විය හැකි බවද එම කමිටුව සඳහන් කරනවා.
ඒ අනුව බන්ධනාගාර තුළ ව්‍යාප්ත වෙමින් පවතින බවට වාර්තා වන සරම්ප රෝගය පාලනය කිරීම සඳහා කඩිනම් සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසත්, රැඳවියන්ගේ ජීවිත ආරක්ෂාව සහ සෞඛ්‍ය පහසුකම් තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ඉල්ලා සිටිනවා.
