නියමුවන් රහිත මඟී ඩ්‍රෝන සේවා, ප්‍රථම නිල අත්හදා බැලීම හෙට සිදුකෙරේ

විදුලි බලයෙන් ක්‍රියා කරන නියමුවන් රහිත මඟී ඩ්‍රෝන සේවාවක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමේ ප්‍රථම නිල අත්හදා බැලීම හෙට (11) සිදුකිරීමට නියමිත බවට වාර්තාවෙනවා.

කොළඹ වරාය නගර පරිශ්‍රයේදී (Port City) එම අත්හදා බැලීම් කටයුතු සිදුකරන බවට වරාය හා සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සඳහන් කරනවා.

මඟී ඩ්‍රෝන යානා හඳුන්වාදෙන චීනයේ Yi Hang (යී හැංග්) සමාගම, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේදී අමාත්‍ය අනුර කරුණාතිලක, නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු, අමාත්‍යාංශ ලේකම් ඩබ්.ඩබ්.එස්.මංගල ප්‍රමුඛ ගුවන්සේවා අධිකාරියේ බලධාරීන් සමඟ පසුගිය අගෝස්තු මාසයේදී, මේ සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් පවත්වනු ලැබූවා.

ධාවන පථයක් අවශ්‍ය නොවන eVTOL නමින් හඳුන්වන මෙම ඩ්‍රෝන යානා සිරස්ව ගුවන් ගතවීමට සහ ගොඩබැසීමට හැකි අතර, සංචාරක කර්මාන්තය, මඟී ප්‍රවාහනය හදිසි සේවා සඳහා යොදා ගැනීම පිළිබඳව සාකච්ඡාවේදී අවධානයට යොමුවූ බවයි එම අමාත්‍යාංශය පවසන්නේ.

මෙය මුලින්ම වාණිජ සේවාවක් ලෙස නොව පරීක්ෂණ අදියරයක් ලෙස ක්‍රියාත්මක කිරීමට යොජිත අතර, මාස 06ක පමණ කාලයක් Port City පරිශ්‍රයේදී අත්හදා බැලීම් සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි වරාය හා සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.

E 216 වර්ගයේ මඟීන් දෙදෙනෙකු ගමන් කළ හැකි ඩ්‍රෝන යානයක් පසුගියදා මෙරටට ගෙන්වා ඇති අතර, අත්හදා බැලීම සඳහා එය යොදා ගැනීමට නියමිතව ඇති බව ද එම අමාත්‍යාංශය සඳහන් කරනවා.

මෙම යානය ප්‍රචාලක (ප්‍රොප්ලර් – Propller) 16ක්, බැටරි කට්ටල 12ක්, ගුවන්යානා පාලන පද්ධති (Flight – Control) 03ක් සමඟ පරිගණක පද්ධතියකින් සමන්විත වන බව වාර්තාවෙනවා.

යානය පාලනය කිරීම එක් මධ්‍යස්ථානයක සිට දුරස්ථ පාලකයක් හරහා සිදුවෙන බැවින්, අනතුරක් හෝ සන්නිවේදන ගැටලුවක් ඇතිවුවහොත් ආරක්ෂිත ක්‍රියා මාර්ගයකට ස්වයංක්‍රීයව යොමුවිය හැකි බවයි වාර්තා වන්නේ.

මඟී ඩ්‍රෝන යානා සේවාව ක්‍රියාත්මක කිරීම මඟින් සංචාරක ක්ෂේත්‍රය තුළ විශේෂයෙන් සීගිරිය, පිදුරංගල කඳුකර ප්‍රදේශ සහ දූපත් වැනි ස්ථාන වෙත සංචාරකයින් රැගෙන යාම මඟින් සංචාරක ව්‍යාපාරය සඳහා නව වෙළඳපොලක් නිර්මාණය කරගැනීමට අපේක්ෂා කරන බව ද වරාය හා සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සඳහන් කරනවා