චාමර සම්පත් රිමාන්ඩ්

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84 ක මුදලක් අල්ලසක් ලෙස ඉල්ලා ලබා ගත් බව කියන සිද්ධියට අදාලව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් ලබන 23 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඔ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (12) නියෝග කළා.

සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදි අල්ලස් කොමිසම විසින් කරන ලද කරුණු දැක්විමෙන් අනතුරුව මෙම නියෝගයන නිකුත් කළා.

චාමර සම්පත් දසනායක 2022 සැප්තැම්බර් 08 සිට 2024 සැප්තැම්බර් 23 දක්වා ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී, සමාගම් තුනකට පොස්පේට් ආනයනය කිරීම සඳහා නිසි ක්‍රමවේදයකින් තොරව බලපත්‍ර ලබාදීමට අල්ලස් ලබාගත් බවට චෝදනා එල්ල වී තිබෙන බවයි අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියා.

අමාත්‍යවරයාගේ එවකට හිටපු පෞද්ගලික ලේකම්වරයා විසින් මෙලෙස රුපියල් ලක්ෂ 84ක මුදලක් අල්ලස් ලෙස ලබාගෙන ඇති බවට කෙරෙන විමර්ශනවලට අදාළව මෙම කැඳවීම සිදුකර ඇති බවත් එම පුද්ගලික ලේකම් ද ⁣මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බවයි අල්ලස් කොමිසම පවසා සිටියේ.

ඒ අනුව මෙම සැකකරු සිද්ධියට අදාළව තුන්වැනි සැකකරු ලෙස නම්කර අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කළ බවයි අල්ලස් කොමිසම පවසා සිටියේ.