ගැඹුරු පීඩන අවපාතය, සුළි කුණාටුවක් දක්වා වර්ධනය වන බව අවවාදාත්මක නිවේදනයක්

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය අද (01) දින පෙරවරු 05.30 වන විට ‘ගැඹුරු පීඩන අවපාතයක්’ දක්වා වර්ධනය වී උතුරු අක්ෂාංශ 11.5° සහ නැගෙනහිර දේශාංශ 86.4° ආසන්නයේ කේන්ද්‍රගතව පැවති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින්, අද (01) දින පෙ.ව. 11.30 පමණ වන විට ගිනිකොණ දිග සහ යාබද බස්නාහිර – මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට ඉතා ඉහළ සම්භාවිතාවක් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම පද්ධතිය තවදුරටත් බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින්, චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී, නොවැම්බර් මස 03 වන දින පෙරවරු 05.30 පමණ වන විට ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළ හරහා ගොඩබිම වෙත ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

පහත සිතියමේ “Warning” කාණ්ඩයට අයත් මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර (70-80) දක්වා වැඩි විය හැකි අතර, ගිගුරුම් සහිත තද වැසි ඇති විය හැකි බැවින් මෙම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවත් එම නිවේදනයේ සඳහන්.

එම නිසා උතුරු අක්ෂාංශ 10 ත් 15 ත් සහ නැගෙනහිර දේශාංශ 80 ත් 90 ත් අතර මුහුදු ප්‍රදේශ වල නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවුක කටයුතු වලින් වළකින ලෙසත් එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතු වල යෙදෙන ප්‍රජාවන් ආරක්ෂිත ප්‍රදේශ කරා යාත්‍රා කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් දී තිබෙනවා.