හදිසි අනතුරකින් තුවාල වූ විදෙස් නාවිකයෙක් ගොඩබිමට රැගෙන එයි

යාත්‍රා කරමින් තිබූ විදේශීය නෞකාවක, කාර්යය මණ්ඩල සාමාජිකයෙකු හදිසි වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන විත්නා, ඔහුව රෝහල් ගත කිරීමට අද (01) අලුයම නාවික හමුදාව කටයුතු කර තිබෙනවා.

කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, මාෂල් දූපත් ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ “MV SPIRIT OF TOKYO” (IMO 9761231) යන භාණ්ඩ ප්‍රවාහන නෞකාව තුලදී අනතුරට පත්ව අසාධ්‍ය තත්වයේ සිටි කාර්යය මණ්ඩල සාමාජිකයෙකු මෙලෙස ගොඩබිමට රැගෙන ආ බවයි නාවික හමුදාව පවසන්නේ.

නාවික හමුදා යාත්‍රාවක් මඟින් ගොඩබිමට රැගෙන ආ අදාළ නෞකා කාර්යය මණ්ඩල සාමාජිකයා, එම නෞකාවේ දේශීය නියෝජිත ආයතනයේද සහයෙන් ප්‍රතිකාර සඳහා ගාල්ල පෞද්ගලික රෝහලක් වෙත යොමු කිරීමට කටයුතු කර තිබෙනවා.

නෞකාවේදී හදිසි අනතුරකට ලක්ව ඔහුගේ හිසෙහී නලල ප්‍රදේශයට තුවාල සිදුවී අසාධ්‍යව ඇති බවත්, එම රෝගියා වෙත ප්‍රතිකාර ලබාදීම සඳහා ගොඩබිමට රැගෙන ඒමට අවශ්‍ය සහය ලබා දෙන ලෙසත්, එම නෞකාව වෙතින් කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත දැනුම්දීමක් සිදුකර තිබුණා.

ඒ අනුව, එම දැනුම් දීමට ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, රෝගියා වෙත අවශ්‍ය වෛද්‍ය උපදෙස් එම නෞකාව වෙත සන්නිවේදනය කර, නෞකාව වෙතින් රෝගියා ගාලු වරාය ආසන්නයට රැගෙන ඒමෙන් පසුව, දකුණු නාවික විධානය වෙතින් පී 451 යාත්‍රාව යොදවා රෝගියා ගොඩබිමට රැගෙනවිත්, මෙලෙස වැඩිදුර වෛද්‍ය ප්‍රථිකාර සඳහා යොමු කර තිබෙනවා.