රුපියල් එක් කෝටි හැට අට ලක්ෂ තුන් දහස් හත්සිය පනහක් වටිනා , විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සහ සම සුදු වීම සදහා භාවිතා කරන ආලේපන තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ ගමන් මලු පථ අසළ අතහැර දමා ගොස් සිටියදී 09/15 දින පස්වරුවේ ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම දුම්වැටි සහ ආලේපන සියල්ල 09/15 දින උදෑසන 10.30 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබූ බව රේගු නිලධාරීන් විසින් සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය කර ගෙන තිබෙනවා.
ගමන් මලු 06 ක් තුළ අසුරා තිබූ, විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගය අතර ” ටොප් ගන් ” සහ ” ප්ලැටිනම් 07 ” වර්ගයේ දුම්වැටි 111,400 ක් අඩංගු දුම්වැටි කාටූන් 557 ක් සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ නිසි අවසරයකින් තොරව මෙරටට රැගෙන විත් තිබූ , සම සුදු පැහැ ගැන්වීම සදහා භාවිතා කරන ආලේපන ( Whitening Cream ) බදුන් 125 ක් ද තීබුණා.
පසුව මේ පිළිබද විධිමත් රේගු පරීක්ෂණයක් සිදු කළ ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් , මෙම දුම්වැටි තොගය සහ ආලේපන තොගය රාජසන්තක කර , ඉදිරි දිනයක විනාශ කිරීමට නියෝග ලැබී තිබෙනවා.













