මෙවර මහ කන්නයේ වැඩිම වී අස්වැන්න උඩවලව කලාපයට අයත් කුඹුරුවලින් වාර්තා වී ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
පසුගිය යල කන්නයේ පැවැති දීර්ඝ නියඟය හේතුවෙන් වැඩිම වගා හානි වාර්තා වූ උඩවලව කලාපයේ කුඹුරුවලින් මෙවර වැඩිම වී අස්වැන්න වාර්තා වී තිබීම විශේෂිත සිදුවීමක් බව ද අමාත්‍යවරයා කියා සිටියේය.
මෙවර මහ කන්නයේ වී වගාව මගින් ලැබිය හැකි අස්වැන්න වී මෙට්‍රික් ටොන් ලක්ෂ 36 ඉක්මවනු ඇතැයි ද සඳහන්.
දැනට සිදු කර ඇති අස්වනු පුරෝකථන පරීක්ෂණ අනුව මෙම කරුණු අනාවරණය වී තිබේ. එමෙන්ම මෙවර මහ කන්නයේ එකදිගට මාස හතරහමාරක් පැවැති මහ වැස්ස හේතුවෙන් අක්කර 100,000ක වී වගාව විනාශ වී තිබු තත්ත්වයක් තුළ මෙවැනි අස්වැන්නක් ලැබීම සම්බන්ධව රටේ ගොවිජනතාවට සමස්ත ජනතාවගේ කෘතඥතාවය පළ විය යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම වැඩිම අස්වනු පසුහානිය ද මෙවර වාර්තා වී තිබේ.
විශේෂයෙන් අස්වනු නෙලීමේ ප්‍රමාදය නිසා සමස්ත වී අස්වැන්නෙන් සියයට 10 සිට 15 දක්වා ප්‍රමාණයක් පසු අස්වනු නාස්තියට ලක්වී තිබේ. ඇතැම් ප්‍රදේශවල පසු අස්වනු නාස්තිය සියයට 25ක් දක්වා ඉහළ මට්ටමක පවතී.













