spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉගෙන ගන්න බෙලරුසියාවට, රුසියාවට හෝ යුක්‍රේනයට ගියොත් යුද්ධයෙන් බැට කන්න වෙන ලකුණු

රුසියා – යුක්රේන යුද යුදමය තත්ත්වය වළක්වා ගැනීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග නොගතහොත් එහි ප්‍රතිඵල තවත් වසර ගණනාවකට දිගු විය හැකි බව විශ්ලේෂකයන් පෙන්වා දී තිබෙනවා.

එය බලපෑම් සහගත වන්නේ රුසියාවට හෝ යුක්රේනයට පමණක් නොවේ.

යුද්ධය ඉදිරියට ගෙනයාම සඳහා රුකුල් දීම යුද අවි සමාගම්වල ලාභය තර කරනු ඇතත් ඉන් සිදු විය හැකි ජීවිත හා දේපළ හානිවල අලාභය විශාල වනු ඇත. ඊට මේ තත්ත්වය තුන්වැනි ලෝක යුද්ධයක් දක්වා ගමන් කිරීමට අවශ්‍ය නොවේ.

රුසියා – යුක්රේන යුද ගැටුම් ආරම්භ වී සති 5ක් ගත විය.

කිව් අගනුවර මෙන්ම කාර්කිව්, චර්නිව් වැනි නගරවල ද සටන් පවතී. වරින් වර පැය කිහිපයක් සඳහා සටන් විරාම ප්‍රකාශයට පත් වුවද දෙපාර්ශ්වය අතර සාකච්ඡා වට කිහිපයක්ම සිදු වුවද මෙතෙක් ගැටුම් නිමා කිරීම සම්බන්ධයෙන් ඵලදායී එකඟතාවකට එළැඹීමට අපොහොසත්ව තිබේ.

ලුහාන්ස්ක් හා ඩොනෙට්ස්ක් ඇතුළු රුසියානු දේශ සීමාවට මායිම් වන යුක්රේනයේ නගර හා ප්‍රදේශ සියල්ලේම පාහේ බලය මේ වන විට රුසියානු හමුදා යටතේ පවතී. කිව් අගනුවර බලය තවමත් රුසියානු හමුදා අතට පත්ව නැති අතර, අමෙරිකාව සහ බ්‍රිතාන්‍යය ඇතුළු බටහිර යුද ආධාර ලබමින් යුක්රේන හමුදා රුසියානු හමුදා අඩපණ කිරීමට වෑයම් කරමින් සිටී.

ලෝක ඉතිහාසයේ මෙතෙක් සිදුව ඇති දරුණුතම න්‍යෂ්ටික අනතුර 1986දී සිදුවූ චර්නොබිල් බලාගාර අනතුරය. බලාගාරය ආසන්නයේ පිහිටි රතු වනාන්තර පෙදෙසින් රුසියානු හමුදා භටයන් සිය ගණනක් විකිරණ බලපෑම් හේතුවෙන් යම් යම් රෝග ලක්ෂණ පෙන්වා ඇතැයි වාර්තා විය. ඔවුහු බෙලරුස්, ගොවෙල්හි විශේෂ වෛද්‍ය මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටිති.

චර්නොබිල් බලාගාරය හා අවට පෙදෙස්වල පාලනය ඇත්තේ රුසියානු හමුදා සතුවය. ඇතැම් පෙදෙස්වලින් රුසියානු හමුදා ඉවත් වෙමින් ඇතැයි පළව ඇති වාර්තා සම්බන්ධයෙන් රුසියාව ප්‍රතිචාර දක්වන්නේ සිය උපායමාර්ගයන්ට අනුව යම් යම් තීරණ ගන්නා බව පවසමිනි.

යුද ගැටුම්වලින් මේ දක්වා ජීවිතක්ෂයට පත්ව ඇති රුසියානු සෙබළුන්ගේ සංඛ්‍යාව 11,000ක් බව යුක්රේනය වාර්තා කළ ද රුසියාව දෙවැනි වරට නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ එම සංඛ්‍යාව 1351කි.

නේටෝව කියන්නේ එය 7000-15000ත් අතර බවය. ගැටුම් ඇති වීමට පෙර හා පසුව මේ දක්වා යුක්රේනයෙන් පිටවී අසල්වැසි පෝලන්තය ඇතුළු රටවල් කරා ගොස් ඇති අවතැන්ව සිටින සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව මිලියන 3ක් ඉක්මවන බව ඇතැම් වාර්තාවල දැක්වේ.

යුද්ධයේදී යුක්රේන හමුදාවන්ට සිදුව ඇති හානි පිළිබඳ පැහැදිලිව තක්සේරු කරගැනීම අපහසු වී ඇත්තේ යුද්ධය වාර්තා කිරීමේදී අමෙරිකා හා බටහිර මාධ්‍ය විශාල වශයෙන් රුසියානු විරෝධී දෘෂ්ටිකෝණයෙන් එම වාර්තාකරණය සිදු කරමින් ඇති පසුබිමකය. ජනාධිපති පුටින් ආඥාදායකයකු, යුද අපරාධකරුවකු ලෙස දැක්වීම අරමුණු කර ගනිමින් එම වාර්තාකරණය සිදු වන බවක් පෙනෙන්නට තිබේ.

මෙවැනි යුදමය තත්ත්වයක් ඇති වීමට යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කිගේ ක්‍රියා කලාපය හේතු නොවීද යන කාරණය පිළිබඳ ඒවායින් විවරණය නොවන තරම්ය.

රුසියාවේ නායකයා කළ ප්‍රකාශය

මිලිටරිමය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට පෙර රුසියානු නායකයා කළ ප්‍රකාශය ද ඊට බලපෑ පසුබිම පැහැදිලි කරන්නකි. රුසියාව දුර්වල කිරීමට හා එරටට බලපෑම් කිරීමට යුක්රේන භූමිය යොදා ගැනීම නේටෝවේ උපායමාර්ගයක් වූ බව රුසියාව දිගින් දිගටම පෙන්වා දී තිබේ. සෝවියට් සංගමයට අයත් රාජ්‍යයක්ව තිබී ඉන් බිඳී ගිය පසුව වුවද 2014 වසර දක්වා දෙරට අතර ගැටුම් ඇති නොවිණි.

මේ දක්වා වරින්වර රුසියානු හිතවාදී ආණ්ඩු හා පාලකයන් මෙන්ම රුසියානු විරෝධී ආණ්ඩු හා පාලකයන් ද එරට බලයට පත් විය. ‘ඔරේන්ජ් විප්ලවයක්‘ මඟින් ද අරමුණු කළේ යුක්රේනයේ රුසියානු විරෝධී හා බටහිරට හැසිරවීමට හැකි පාලනයක් බිහිකිරීම බව පැහැදිලි විය. ඔරේන්ජ් විප්ලව, රේන්බෝ විප්ලව හා වසන්ත කැරැළිවලින් පසුව ඒ රටවල ඇතිවූ තත්ත්වය ඔවුන් පත්ව ඇති ඉරණම මෙන්ම ඒවා ඇවිළවීමේ සැබෑ අවශ්‍යතාව කවරක් ද ඒ පසුපස සිටි බලවේග මොනවාද යන්න මෙන්ම ඒවාට බලපෑ හේතු සාධක ද මේ වන විට පැහැදිලි වී තිබේ.

යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි තම රටට නේටෝ සාමාජිකත්වය දෙන ලෙස ඉල්ලා සිටියේ මීට වසරකට පමණ කලිනි. එවැන්නක් සිදු නොකරන ලෙසට හා නේටෝවේ ව්‍යාප්තිය වළක්වන ලෙසට රුසියාව කාලයක් තිස්සේ ඉල්ලා තිබිණි.

මෙම යුද ගැටුම් ආරම්භයත් සමඟ තමන් අපේක්ෂා කළ හමුදාමය සහාය මුලදී නොලැබුණු පසුබිමක යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි කියා සිටියේ නේටෝව සමඟ එක්වීමට ගත් තීරණය වෙනස් කර ගන්නා බවය. අමෙරිකාව යුක්රේනයට තම හමුදා එවීම ප්‍රතික්ෂේප කළේය. කෙසේ වුවද අමෙරිකා හා බටහිර යුද ආධාර මේ වන විට යුක්රේනයට ලැබෙමින් ඇතැයි වාර්තා පළ වී තිබේ.

න්‍යෂ්ටික බලවතුන් වන රටවල් අතර, දරුණු ලෙස යුද ගැටුම් ඇදීයාමක් සිදු වුව හොත් එය අවාසනාවන්ත තත්ත්වයකි. එවැනි තත්ත්වයක් ඇති වීම වළක්වා ගැනීමට ගත හැකි පියවර පිළිබඳ චීනය ඇතුළු රටවල් කිහිපයක්ම උනන්දුවෙන් ක්‍රියා කරන බවක් දක්නට හැකිය. රුසියානු ‘ආක්‍රමණය‘ කල් තබා චීනය දැන සිටි බවට එල්ල කළ චෝදනා චීනය ප්‍රතික්ෂේප කළේ ද එලෙස දැන සිටියේ නම් එවැනි තත්ත්වයක් වළක්වා ගැනීමට කළ හැකි සියල්ල කරන බව පවසමිනි.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අමෙරිකාවට හෝ බටහිරට මෙල්ල කළ නොහැකි හා බලසම්පන්න නායකයෙක් වීම රුසියානු විරෝධී පාර්ශ්වයන්ගේ හිසරදයට ප්‍රධාන හේතුවකි. රුසියාවට එරෙහිව සම්බාධක විශාල ලෙස පැනවීම මඟින් රුසියානු ආර්ථිකය බිඳ දැමීම මෙන්ම ජන ජීවිත පීඩාවට පත්වීමට සලස්වා එවිට ඇති වන විරෝධය පුටින්ට එරෙහිව මෙහෙයවීම ද උපක්‍රමයක් වී ඇති බව පෙනෙන්නට තිබේ.

කෙසේ වුවද රුසියාවට එරෙහි සම්බාධක එරටට පමණක් බලපාන කාරණයක් නොවන බව දැනටමත් පැහැදිලිය. එසේම මෙම යුද ගැටුම වසංගතයත් සමඟ ලෝකය මුහුණ පෑ ආර්ථික අර්බුදය වඩාත් බරපතළ කිරීමට හේතු වී ඇති බව ද පැහැදිලිය.

අධ්‍යාපන ක්ෂේත්‍රයට හා සංචාරක ව්‍යාපාරයට කළ බලපෑම

යුද ගැටුම් ආරම්භයත් සමඟම රුසියාවේ මෙන්ම යුක්රේනයේ සංචාරක ව්‍යාපාරයට හා සෙසු රටවල සංචාරක ව්‍යාපාරයට ද එය අනර්ථකාරී අන්දමින් බලපෑවේය. යුක්රේනය, බෙලරුස් වැනි රටවල අධ්‍යාපනය ලබමින් සිටි විදේශීය ශිෂ්‍යයන් ආපසු තම රටවලට ගෙන්වා ගැනීම ද සිදු විය. මේ රටවල අධ්‍යාපනය සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන් ද එලෙස ආපසු ගෙන්වා ගැනිණි. වසංගතයත් සමඟ යළි නැඟී සිටි සංචාරක ව්‍යාපාරයට මෙය ඇති කළ බලපෑම වටහා ගත හැකි වන්නේ ශ්‍රී ලංකාව වැනි රටවලට වැඩි වශයෙන්ම සංචාරකයන් පැමිණියේ රුසියාව, යුක්රේනය වැනි රටවලින් වන පසුබිමකය.

සම්බාධක හේතුවෙන් විදේශ වෙළෙඳාමට ද බලපෑම් ඇතිවී තිබේ. රුසියාවට ඛනිජ තෙල්, ගෑස් අතුළු සිය අපනයන ආදායම් පහත වැටෙන විට එරටට අපනයන සිදු කළ රටවල එම ආදායම් ද මේ වන විට පහළ වැටී තිබේ.

යුක්රේන අර්බුදය නම් බොරදියේ අමෙරිකාව මාළු බෑම පටන්ගෙන ඇති බව පැහැදිලිය. මෙවැනි යුද ගැටුමක් ඇති වීමට අමෙරිකාවේ හා නේටෝවේ ක්‍රියා කලාපය හේතු වූ අයුරු මෙන්ම එය ඇදීයාම වැළැක්වීම සඳහා ඔවුන් ක්‍රියා නොකිරීම විචාරකයන්ගේ අවධානයට ලක්ව ඇති කාරණයකි.

අමෙරිකාවේ හිටපු කොංග්‍රස් සභිකාවක වන තුල්සි ගැබාඩ් ට්විටර් පණිවිඩයක් මඟින් දන්වා තිබුණේ යුක්රේනය නේටෝවේ සාමාජිකත්වය ලබාගැනීම පිළිබඳ රුසියාවට ඇති සාධාරණ ආරක්ෂකමය අභිලාෂයන් පිළිබඳ අමෙරිකාව හා නේටෝව සැලකිලිමත් විණි නම්, මෙම ඛේදවාචකය පහසුවෙන්ම වළක්වාගත හැකිව තිබූ බවය.

ඒ වෙනුවට සිදුව ඇත්තේ අනෙකුත් බටහිර රටවල් ද යුද්ධයට තල්ලු කිරීම හා යුක්රේනයට යුද හා මූල්‍ය ආධාර සපයමින් තත්ත්වය තවත් දරුණු අතට රැගෙන යාමට රුකුල් දීමය.

ෂිංහුවා පුවත් සේවය වාර්තා කළ පරිදි ඇතැම් යුරෝපා රටවල් තම ජාතික ආරක්ෂක වැය ශීර්ෂවල ප්‍රතිපාදන ඉහළ දමා ඇති පසුබිමක කොටස් වෙළෙඳපොළේ අමෙරිකා යුද අවි නිෂ්පාදන සමාගම්වල කොටස් මිල ඉහළ ගොසිනි.

රුසියාවට එරෙහි සම්බාධක හේතුවෙන් අමෙරිකා බැංකු හා තෙල් සමාගම්වලට ද වාසි සැලසී තිබේ.

දශක ගණනාවක් තිස්සේ අමෙරිකාව සිය ලෝක ආධිපත්‍ය පවත්වා ගැනීමට හා යුරෝපය සිය ආධිපත්‍ය පවත්වා ගැනීමට දරමින් ඇති වෑයම ලොවපුරා අර්බුද නිර්මාණය කිරීමට හේතු වී ඇති අයුරු විශ්ලේෂකයෝ පෙන්වා දෙති. මෙහිදී ඔවුහු සිය පැරැණි උපායමාර්ග යළි දිගහැර ඇති බවක් පෙනෙන්නට ඇත. මෙහිදී චීනය අනුගමනය කරමින් ඇත්තේ ඊට සපුරා වෙනස් පිළිවෙතකි.

රුසියාව මෙන්ම යුක්රේනය ද සිය මිතුරු රටවල් ලෙස සලකමින් එක් පාර්ශ්වයකට හෝ බර නොවෙමින් ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක පිහිටා සිටින බව ද යුද්ධයට එරෙහිව හා සාමය ඇති කිරීම පිණිස සහාය වන බව ද ප්‍රකාශ කර තිබේ.

ඩොන්බාස්හි පාලනය

මේ වන විට ඩොන්බාස්හි පාලනය යළි සියතට ගැනීමට යුක්රේන හමුදා සටන් කරමින් ඇතැයි ජනාධිපති සෙලෙන්ස්කි ප්‍රකාශ කරයි. අමෙරිකාව බෙලරුස් රාජ්‍යම ද සම්බාධක පැනවීමට ක්‍රියා කර ඇත. පවතින යුදමය තත්ත්වය දිග්ගැස්සීමට මිස සාමය ඇති කිරීම සඳහා එහි ඇතැම් පාර්ශ්වකරුවන්ට වුවමනාවක් නැති බව පැහැදිලි කාරණයකි. රුසියාව හා යුක්රේනය අතර සාකච්ඡාමය ක්‍රියාදාමය බිඳ නොවැටී පවත්වා ගැනීමට හැකිවීම සැනසිලිදායක තත්ත්වයකි.

කෙසේ වුවද එමඟින් ඵලදායි විසඳුම් කරා එළැඹීමට හැකි විය යුතුය. දැනට පෙනෙන්නට ඇත්තේ දෙපාර්ශ්වයම එකිනෙකාගේ කොන්දේසි පිළිනොගන්නා තත්ත්වයකි. නේටෝවේ ව්‍යාප්තවාදී උපායමාර්ගය හමුවේ රුසියාව සිය ආරක්ෂක අභිලාෂයන් බැහැර කරනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි තත්ත්වයකි. එනම් සිය අසල්වැසි බලවත් රාජ්‍ය සමඟ මිත්‍රශීලීව මේ කාරණය විසඳා ගැනීම යුක්රේනයට ගත හැකි එක් මඟකි. එවැනි මාවතක් දිගුවන්නේ සාමය දෙසටය.

ඒ වෙනුවට අමෙරිකා සහ බටහිර යුද ශක්තිය කෙරෙහි විශ්වාසය තබමින් රුසියාව දෙස සතුරු ආකල්පයකින් බලමින් උද්ධච්ඡ පිළිවෙතක පිහිටා සිටීම යනු පවතින තත්ත්වය අවාසනාවන්ත ඛේදවාචකයක් කරා ගමන් කිරීමකි. යුක්රේනය යටත්කොට තම පාලනයට නතුකර ගැනීමේ අවශ්‍යතාවක් නැතැයි රුසියාව මුල පටන්ම ප්‍රකාශ කර තිබිණි.

යුද්ධයේදී තමන්ගේ පාලනය යටතට පත්වන ප්‍රදේශවල පවා එවැනි ආධිපත්‍යයක් පවත්වා ගැනීමට අවශ්‍යතාවක් නැති බව ද සාමාන්‍ය කටයුතු සිදු කරගෙන යාමට හැකියාව ඇති බව ද පැවසිණි.

දැනට පවතින යුදමය තත්ත්වය වළක්වා ගැනීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග නොගතහොත් එහි ප්‍රතිඵල තවත් වසර ගණනාවකට දිගු විය හැකි බව විශ්ලේෂකයන් පෙන්වා දී ඇති කාරණයකි. එය බලපෑම් සහගත වන්නේ රුසියාවට හෝ යුක්රේනයට පමණක් නොවේ. යුද්ධය ඉදිරියට ගෙනයාම සඳහා රුකුල් දීම යුද අවි සමාගම්වල ලාභය තර කරනු ඇතත් ඉන් සිදු විය හැකි ජීවිත හා දේපළ හානිවල අලාභය විශාල වනු ඇත. ඊට මේ තත්ත්වය තුන්වැනි ලෝක යුද්ධයක් දක්වා ගමන් කිරීමට අවශ්‍ය නොවේ.

තවත් මාස කිහිපයක් හෝ වසරක් දෙකක් ගත වී සාමකාමී විසඳුමකට එළැඹීමට වඩා සටන් විරාමයක් ඇති කර ගනිමින් හෝ ප්‍රායෝගික විසඳුමකට එළැඹීම යුද්ධයට ඍජුව සම්බන්ධ පාර්ශ්වයන්ට පමණක් නොව ලෝක සාමයට ද හිතකර වනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?