රජයේ ප්රධාන අරමුණක් වන්නේ කුසලතාවන්ගෙන් මෙන්ම, ශාරීරික හා මානසික සෞඛ්යයෙන් පිරුණු අනාගත සිසු පරපුරක් බිහි කිරීම වන බැවින්, නව අධ්යාපන ප්රතිසංස්කරණ තුළ ක්රීඩාව අතිරේක ක්රියාකාරකමක් ලෙස නොව, දරුවාගේ සමස්ත සංවර්ධනයේ අනිවාර්ය අංගයක් ලෙස සලකන බව අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්ය, අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
අද (20) දින දියගම දී පැවැති 40 වන සමස්ත ලංකා පාසල් ක්රීඩා තරගාවලියේ සමාප්ති උත්සවයට එක්වෙමින් අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්ය, අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව පවසා සිටියා.
මෙහිදී සමස්ත ලංකා පාසල් මලල ක්රීඩා තරගාවලියේ සමස්ත පළාත් ශූරතාව බස්නාහිර පළාත විසින් හිමිකර ගන්නා ලදී. තරගාවලිය පුරා විශිෂ්ට ක්රීඩා කෞශල්යයක් පෙන්නුම් කරමින් නව තරග වාර්තා 23 ක් පිහිටුවීමට ද ක්රීඩක ක්රීඩිකාවෝ සමත් වූහ. විවිධ වයස් කාණ්ඩ ඔස්සේ අසමසම දක්ෂතා දැක්වූ ක්රීඩක ක්රීඩිකාවන් සහ ජයග්රාහී පාසල් සඳහා සම්මාන ප්රදානය කිරීම මෙහිදී අග්රාමාත්යවරියගේ ප්රධානත්වයෙන් සිදු කෙරුණා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්රාමාත්යවරිය මෙසේ ද පවසා සිටියා.
“සමස්ත ලංකා පාසල් ක්රීඩා උළෙල දශක හතරක් පුරා අඛණ්ඩව පැවැත්වීමට හැකිවීම සම්බන්ධව අප සතුටු වෙනවා. මේ කාලය තුළ මෙම ක්රීඩා පිටියෙන් බිහිවුණු ක්රීඩක ක්රීඩිකාවන් බොහෝ දෙනෙක් පසුව ජාත්යන්තර වේදිකාවල ශ්රී ලංකාව නියෝජනය කළා.
එසේම, ක්රීඩාවෙන් ඉගෙන ගන්නේ ජයග්රහණය විතරක් නොවෙයි. පරාජය හමුවේ නැවත නැවතත් නැඟී සිටින ආකාරයත් ඉගෙන ගන්නවා. පාසල් අධ්යාපනය තුළ ක්රීඩාවට හිමිවන්නේ ඉතාමත් වැදගත් ස්ථානයක්. අධ්යාපනයේ සාර්ථකත්වය මනින්නේ විභාග ප්රතිඵලවලින් විතරක් නෙමෙයි කියන එක අපි නිතරම කියන දෙයක්. කුසලතාවයෙන්, ශාරීරික හා මානසික සෞඛ්යයෙන් සහ සමාජ වගකීමෙන් පිරුණු දරුවෙක් බිහි කිරීමයි අපේ අරමුණ. අපි සිදුකරන අධ්යාපන ප්රතිසංස්කරණවලදී ක්රීඩාව අතිරේක කටයුත්තක් ලෙස නෙමෙයි, දරුවාගේ සමස්ත සංවර්ධනයේ අනිවාර්ය කොටසක් ලෙස සැලකිල්ලට ගන්නේ ඒ නිසයි.
අද දරුවන් මුහුණ දෙන අධ්යාපනික පීඩනය සහ ඩිජිටල් තිර මත වැඩි කාලයක් ගත කිරීම වැනි අභියෝග හමුවේ, ක්රීඩාව කියන්නේ මානසික හා ශාරීරික සුවතාවයට ලැබෙන ප්රබල ඖෂධයක්. ක්රීඩාවෙන් දරුවන්ගේ ශක්තිය, විනය සහ කාල කළමනාකරණය වර්ධනය වෙනවා.
මෙම උළෙලේදී නගරයේ පාසල් විතරක් නෙමෙයි, ග්රාමීය පාසල්වලින්, වතු ආශ්රිත ප්රදේශවලින් ආපු දරුවනුත් තමන්ගේ දක්ෂතා දැක්වූවා. සීමිත පහසුකම් මැද පුහුණු වෙලා මෙතැනට ආපු දරුවන් ගැන අපිට විශේෂ ආඩම්බරයක් තියෙනවා. ඔවුන්ගේ දක්ෂතාවලට අවශ්ය පහසුකම් සපයා දීමට රජයක් ලෙස අපි කැපවෙලා ඉන්නවා. අපේ අරමුණ කිසිදු දරුවෙකුගේ දක්ෂතාවයට ඔහුගේ ආර්ථික හෝ භූගෝලීය පසුබිම බාධාවක් නොවන අධ්යාපන ක්රමයක් නිර්මාණය කිරීමයි.
මෙම අවස්ථාව සඳහා ක්රීඩා හා යෞවන කටයුතු අමාත්ය සුනිල් කුමාර ගමගේ, ක්රීඩා නියෝජ්ය අමාත්ය සුගත් තිලකරත්න, පළාත් හා කලාප අධ්යාපන බලධාරීන්, ක්රීඩා අධ්යක්ෂවරුන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.
