කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ආරක්ෂාව මේ වනවිට දැඩිකර ඇති බව ‘දසත නිවුස්’ ගුවන්තොටුපළ වාර්තාකරු සඳහන් කළා.
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් වන කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත ඇතුළු පස්දෙනෙක් අද (30) පස්වරුවේ ඉන්දුනීසියාවේ සිට දිවයිනට රැගෙන ඒම හේතුවෙන් මෙලෙස ගුවන් තොටුපොළ ආරක්ෂාව දැඩිකර තිබෙනවා.
ඒ, අනුව ගුවන් තොටුපොළ ඇතුළත සහ පිටතට පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ හමුදා නිලධාරීන් යොදවා ආරක්ෂාව දැඩිකර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ඉන්දුනීසියාවේ ජකර්තා නුවර දී පසුගියදා අත්අඩංගුවට ගැනුණු මෙම අපරාධ කල්ලි සාමාජිකයින් පස්දෙනා රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානය අද (30) පස්වරු 7.26ට මෙරටට ලඟාවීමට නියමිතව තිබෙනවා.
මේ අතර දිවයිනට ගෙන එන එම අපරාධ කල්ලි සාමාජිකයින් භාරගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් අද (30) පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපොළ බලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වුණේ.















